April 25, 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලීන උද්යෝගයෙන් පිරි දස්කම් අගයමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රුපියල් මිලියන 16.4ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට අවධානය යොමුකර තිබේ.

එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු අනුමැතියට යටත්ව සිදුකිරීමට නියමිතය.

කාන්තා එක්දින සහ T-20 තරඟවලදී මෑත කාලීනව දැක්වූ දක්ෂතා හේතුවෙන්, ඔවුන් තවදුරටත් පිළිගැනීමට ලක්කිරීම සඳහා කාන්තා කණ්ඩායමට මෙලෙස මුදල් ත්‍යාග පිරිනැමීමට තාවකාලිකව තීරණයක් ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත.

මැයි මස මුල් සතියේ පැවැත්වීමට නියමිත විධායක කමිටු රැස්වීමේ දී, කාන්තා කණ්ඩායමට මෙතරම් විශාල ප්‍රසාද දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ.

කාන්තා කණ්ඩායමේ මෑත කාලීන සුවිශේෂී දක්ෂතා අගය කිරීමට මෙන්ම අනාගත අන්තර්ජාතික තරගවලදී ප්‍රශස්ථ මට්ටමින් ක්‍රීඩා කිරීමට ඔවුන්ව දිරිගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළ නැංවීමට ද තීරණය කර ඇති බව පැවසේ.

චමරි අතපත්තු පසුගියදා ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන එංගලන්තයේ Natalie Sciver-Bruntගේ ස්ථානය හිමිකර ගැනීමට ද සමත් වූවාය.

ඒ කාන්තා එක්දින තරඟාවලි ඉතිහාසයේ ඉහළම සාර්ථක ලකුණු හඹායෑම සටහන් කළ තරගයේ දී චමරි දැක්වූ සුවිශේෂී දක්ෂතාව සමගිනි.

තෙවැනි සහ අවසන් එක්දින තරගයේ දී චමරිගේ පිතිහරඹය දකුණු අප්‍රිකාවේදී පැවැති තරග තුනකින් සමන්විත තරගාවලිය සම කිරීමට ශ්‍රී ලංකාවට ඉවහල් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 302ක වාර්තාගත ඉලක්කයක් හඹා ගිය චමරි, ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නොදැවී ලකුණු 195ක් රැස්කරමින් කාන්තා එක්දින තරගවල තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවට නායකත්වය දුන්නාය.

එය 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර ඇෆ්ගනිස්ථානයට එරෙහිව Glenn Maxwell නොදැවී ලකුණු 201ට පිටුපසින් එක්දින ක්‍රිකට්-පිරිමි සහ කාන්තා සාර්ථක ලකුණු හඹා යෑමකදී ඕනෑම අයෙකු විසින් ලබාගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.

පසුගිය මාස 10ක කාලය තුළ රුමේෂ් රත්නායකගේ පුහුණුකාරීත්වය යටතේ එක්දින තරගවලදී එංගලන්තය, නවසීලන්තය සහ බංග්ලාදේශය වැනි කණ්ඩායම් පරාජය කර ඇති අතර කෙටිම ආකෘතියෙන් ඔවුන් එංගලන්තය, බංගලාදේශය සහ දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම්වලට වඩා දක්ෂතා දක්වා තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින අතර, අද (25) තායිලන්තයට එරෙහිව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ තරගයකදී තායිලන්තයට මුහුණදීමට සූදානමින් සිටී.