April 1, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ හිටපු අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් තවදුරත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

අල්ලස් ගැනීමට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 8 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ තවමත් සිදුවන බැවින් හිටපු අමාත්‍යවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මෙම නියෝගය නිකුත් කළාය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ද අප්‍රේල් 08 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඔහුව ද අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.

පසුගිය මාර්තු 27 වැනි දින අත්අඩංගුවට ගත් දසනායකට නඩු දෙකක දී ඇප නියම කළ නමුත් තුන්වැනි චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.

2016 දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ වූ සිද්ධියකට අදාළව මෙම චෝදනා එල්ල විය.

අල්ලස් කොමිසමට අනුව, පළාතේ පෙර පාසල් දරුවන් සඳහා බෑග් ලබා දීමට අදහස් කරන බව පවසමින් දසනායක රාජ්‍ය බැංකු තුනකින් අරමුදල් ඉල්ලා ඇත.

බැංකු දෙකක් ඊට එකඟ වෙමින් ඔහුට රුපියල් මිලියන 1ක් සහ රුපියල් මිලියන 2.5ක් ලබා දුන් අතර පසුව ඒවා ඔහුගේ පදනමට අයත් පෞද්ගලික ගිණුමට මාරු කර තිබේ.

කෙසේවෙතත්, තුන්වැනි බැංකුව අරමුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළ විට, දසනායක එම බැංකුවෙන් ඌව පළාත් සභාවේ ස්ථාවර තැන්පතු ඉවත් කර ගනිමින් පළිගත් බව වාර්තා වේ.

අල්ලස් කොමිසම මන්ත්‍රීවරයාට එරෙහිව නඩුවක් ගොනු කරමින් චෝදනා කර ඇත්තේ ඔහුගේ ක්‍රියාවන් හේතුවෙන් රජයට රුපියල් මිලියන 17.3ක මූල්‍ය අලාභයක් සිදුවී ඇති බවයි.