October 31, 2023

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල් හා සම්පත් විදේශීය සමාගම් වෙත පැවරීම වළක්වාලන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාව, එහි සභාපති චේතිය බණ්ඩාර ඒකනායක, ලේකම් බණ්ඩාර අරඹේකුඹුර ඇතුළු පිරිසක් විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්තිය ඇමැති කංචන විජේසේකර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයන් සහ තවත් පිරිසක් නම්කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු තෙල් බෙදාහැරීමේ බලය හා එම සංස්ථාව සතු ඉන්ධනහල් පෞද්ගලික සමාගම් වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, ඒ ඔස්සේ සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධනහල් ඇතුළු වත්කම් හා දේපොළ තෙවැනි පාර්ශ්වයක සමාගමක් වෙත පවරාදීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්කසම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ඊට අමතරව, ඉන්ධන මිලදීගැනීම, සැපයීම හා බෙදාහැරීමේ කටයුතු තවදුරටත් වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීමට අදාළ ගිවිසුම්වලට එළඹීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත නිකුත්කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.(AD)

42.31%
17.27%
32.76%