February 2, 2024

කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවලට එරෙහිව පෞද්ගලික නීතිඥයන් යොදාගැනීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ නීතිමය වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනාවරණය කරයි.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව පෞද්ගලික නීතීඥවරුන්ගේ සේවය ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතනයක යම් නිලධාරියෙකු මහජන මුදල් යෙදවූයේ නම් වියදම් කළ මුදල එම මුදල් ආපසු ගෙවීමේ වගකීම පෞද්ගලිකව පැවරෙන බවයි.

එම රෙගුලාසි නොතකා ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය වසරේ බොහෝ අවස්ථාවල නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා නොගෙන පෞද්ගලික නීති සේවාවන් භාවිත කර ඇති බව ඉංජිනේරු සංගමය අනාවරණය කරයි.

ඉංජිනේරු සංගමයට අනුව, ලංවිම 2022 සහ 2023 වසර වලදී නීති ගාස්තු සඳහා රුපියල් මිලියන 130 කට අධික මුදලක් වැයකර ඇත.

මෙම අගය 2015 සහ 2021 අතර වසර හයක කාලය තුළ මණ්ඩලය විසින් දරන ලද මුළු නෛතික පිරිවැය ඉක්මවන බව වාර්තා වේ.

මෙම ගැටළු වලට ප්‍රතිචාර වශයෙන් ලංවිම සභාපති එන්. ඉලංගකෝන් පවසා ඇත්තේ, කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ මත මණ්ඩලය පෞද්ගලික නීතිඥයන් සම්බන්ධ කරගත් බවයි.

ජනාධිපතිවරයාගේ නියෝග හරහා නීති සේවා ලබාගැනීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් නියම කර ඇති ස්ථාපිත ක්‍රියා පටිපාටිය අනුගමනය කළ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.(News 1st)

42.31%
17.27%
32.76%