January 30, 2024

ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධනයක් ලෙස ප්‍රථමයෙන් යෝජනා කළ සියයට 3.34ක සාමාන්‍ය අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් විදුලි ගාස්තු අඩුවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

ජනවාරි 12 වැනිදා ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා විසින්, 2024 පෙබරවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තුව සියයට 3.34කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇත.

එමෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අවශ්‍ය පරිදි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට ඔවුන් මේ වනවිට කටයුතු කර ඇති බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් The Morning වෙත පවසා ඇත.

”ලංවිම ඉදිරිපත් කර ඇති යෝජනාව කොමිසම විසින් අධ්‍යයනය කර යම් යම් සංශෝධන සහ පැහැදිලි කිරීම් ඉල්ලා තිබෙනවා. අපි ඒවායින් සමහරක් ඉදිරිපත් කර තියෙනවා. ඉතිරිය ඉදිරි දිනවලදී ඉදිරිපත් කරනවා. පවතින තත්ත්වය අනුව මුලින් යෝජිත මුදලට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි ගාස්තු අඩුවෙයි.” එම නිලධාරියා පවසා තිබේ.

සාමාන්‍යයෙන් සියයට 3.34කින් විදුලි ගාස්තු අඩුකිරීමක් ලංවිම යෝජනා කර ඇති අතර, පසුගිය වසරේ විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 65ක ලාභයක් ලැබී තිබියදී ඊට අදාළ කොමිසම වෙත යොමු කර තිබූ යෝජනාවේ දත්ත සඟවා ඇති බවට විදුලි පාරිභෝගික සංගමය (ECA) පසුගියදා චෝදනා කර ඇත.

උදාහරණයක් ලෙස, 2023 දී ලංවිම සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ පිරිවැය රුපියල් බිලියන 70ක් වූ නමුත් නවතම යෝජනාවේ සඳහන් කර ඇත්තේ, එම පිරිවැය මේ වසර සඳහා (2024) රුපියල් බිලියන 145 ක් වනු ඇති බවය.

කෙසේවෙතත්, ඔවුන් පසුගිය වසරේ උපයාගත් ලාභයට අදාළ සත්‍ය දත්ත ලංවිම සඳහන් කර නොමැති බවට එම සංගමය චෝදනා කරයි.

ලංවිම ඉදිරිපත් කර තිබූ සංශෝධනවලට අනුව විදුලි පරිභෝජනයේ අඩුම කාණ්ඩය වන ඒකක 30 සීමාව සඳහා විදුලි ගාස්තු අඩුකිරීමට යෝජනා කර ඇත්තේ ඒකකයක් රුපියලක අගයකිනි.

42.31%
17.27%
32.76%