August 30, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතුටු කිරීම වෙනුවෙන් කරන ලද්දක් බවට ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස චෝදනා කරයි.

විශය ප්‍රාමාණිකයකු ලෙස මහ බැංකු අධිපතිවරයා එලෙස දේශපාලකයන් සතුටු කිරීමට ප්‍රකාශ නිකුත් කිරීම සිදුනොකළ යුතු බව වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වාදුන්නේ ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතව සිටින වැඩසටහනින් ඉවත්වුව හොත් රටේ ආර්ථිකය යළි ආපස්සට ගමන් කරනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබදෙමින් වෛද්‍ය ජයතිස්ස මේ බව පැවැසීය.

“මහ බැංකු අධිපතිවරයා ආචාර්යවරයෙක් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස දේශපාලනඥයන් කියන දේ ප්‍රකාශ නොකළ යුතුයි. විෂය දැනුම භාවිතා කරමින් ප්‍රායෝගික දේවල් ප්‍රකාශ කළ යුතුයි,” ඔහු සඳහන් කළේය.

ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එක් අධිපතිවරයකු වරදකරු කළ මෙවැනිම මහ බැංකු අධිපතිවරුන් අතීතයේ සිටි බවද වෛද්‍ය ජයතිස්ස එහිදී වැඩිදුරටත් පැවැසීය.