April 17, 2024

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව මේ වන විට සිමෙන්ති හෝ සිමෙන්ති ආශ්‍රිත කිසිදු නිෂ්පාදනයක් සිදුනොකරන බවත් එය වාර්ෂිකව ආදායම් ලබන්නේ සංස්ථාව සතුව පවතින සම්පත් බදු දීමෙන් බවත් එහි උසස් නිලධාරියෙක් අනාවරණය කර තිබේ.

‘මව්බිම’ පුවත්පත වාර්තා කර ඇති අන්දමට, සංස්ථාව සතු අරුවක්කාලු හුණුගල් නිධිය බදු දීමෙන් ලැබුණු රුපියල් මිලියන 64ක් හා කොල්ලුපිටියේ පිහිටි ඉඩමක් රථගාලකට බදුදීමෙන් ලැබුණු රුපියල් මිලියන 4ක් වූ කුලී ආදායමක් පසුගිය 2022 වර්ෂයේදී හිමි වූ බවද අදාළ නිලධාරියා පවසා ඇත.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව මූල්‍යමය වශයෙන් කොටස් පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබුණත් සංස්ථාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබුණු බවද ඔහු සඳහන් කර තිබේ.

එසේම ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව රුපියල් 6,400,000 කොටස් පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබුණත් සංස්ථාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය 2020 වර්ෂයේදී සඳහන් කර තිබිණි.

යම් ප්‍රතිලාභයක් ලැබී තිබුණේ 2014 වර්ෂයේදී පමණක් බවත්, සංස්ථාව 2019 වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශවල ආයෝජන වටිනාකම ගිණුම් ගත කළ ආකාරය සහ ආයෝජනයට අදාළ කොටස් සම්බන්ධව ප්‍රමාණවත් තොරතුරු හෙළිදරව් කර නොතිබූ බවත් එහි සඳහන් කර තිබේ.

සිමෙන්ති සංස්ථාව මේ වන විට පවතින්නේ නමට පමණක් බවත්, එයින් කිසිදු කාර්යයක් සිදු නොවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් පවසා ඇත.

සිමෙන්ති සංස්ථාව සතුව පවතින අක්කර 5,000ක පමණ ඉඩම හා ඩොලර් මිලියන ගණනක ඛනිජ සම්පත් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී
ඇති බවද හෙළිකර තිබේ.

ඒ අනුව මේ සියලු සම්පත් ආදායම් උපයන මාර්ගයන් බවට පත්කර ගැනීමට සැලසුම් කර අවසන් බවත් වසරකට ඩොලර් මිලියන 300ක පමණ ආදායමක් උපයා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%