July 17, 2024

ප්‍රතිව්‍යුහගත කිරීමේදී අවශ්‍ය නම් පමණක් හැර විශ්‍රාම යන පිරිසගේ තනතුරු පුරවා නොගනිමින් ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් (VRS) හරහා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කරන බව බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

දැනට අනුමත සේවක සංඛ්‍යාව වන 26,000 වෙනුවට සේවකයන් 5,000කින් පමණක් ලංකා විදුලිබල මණ්ඩලය කළමනාකරණය කළ හැකි බව ඇමැති විජේසේකර මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

අඟහරුවාදා (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ විශාල ගණනකින් සේවක සංඛ්‍යාව අඩු කිරීමට හැකි බවතමන් තවමත් විශ්වාස කරන බවයි.

“අපි ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය හඳුන්වා දුන්නේ ඒ නිසයි. ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපට මාස 12, මාස 18 සහ මාස 24 කාල රාමුවක් තිබෙනවා. ඒ කාල රාමුවත් එක්ක තමයි අපි යන්න ඕනැ” යැයි ඔහු සඳහන් කළේය.

“අපට අවශ්‍ය වන්නේ 5,000ක පමණ සේවක පිරිසක් නිසා 26,000ක් වූ සේවකයන්ගෙන් 21,000ක් අපට නෙරපා හරින්න බැහැ. 21,000න් සමහරක් ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයකින් පිටවිය යුතුයි. තවත් සමහරු විශ්‍රාම යෑම ඔස්සේ ඉවත් විය යුතුයි. වාර්ෂිකව සේවකයන් 1200ක් විශ්‍රාම යනවා.” යනුවෙන් ඇමැතිවරයා පැහැදිලි කළේය.

කෙසේවෙතත් වෙනම ආයතනවලට කඩා සේවකයන් කප්පාදු කිරීම ඔස්සේ කෙරෙන ප්‍රතිව්‍යුහගත කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විරුද්ධ වී තිබේ.

දැනටමත් සේවකයන් 4,000ක් විශ්‍රාම ගොස් ඇති අතර එම විශ්‍රාමික සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා රජය කිසිවකු බඳවාගෙන නොමැත.

රජය අවධාරණය කරන්නේ අසාධාරණ ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ඉවත් නොකරන බවයි.

“අපට දැනට සිටින කාර්ය මණ්ඩලය නෙරපා හැරිය නොහැකියි. සමහරුන්ට අපි ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් යෝජනා කර තිබෙනවා. ඇතැමුන් විශ්‍රාම යන විට ඔවුන්ගේ තනතුරු පුරවන්නේ නැතුව පුරප්පාඩු සම්පූර්ණ කළ යුතු අංශවලට පමණක් අපි බඳවා ගන්නවා,” යැයි ඇමැතිවරයා පැවසීය.

“ඒක තමයි අපේ ප්‍රතිපත්තිමය තීරණය. ඒ අනුව විශ්‍රාම යෑමෙන් ඇති වූ පුරප්පාඩු 4000න් එකක්වත් අපි සම්පූර්ණ කර නැහැ. අවශ්‍යතාව සපුරාලීම සඳහා අපි කොන්ත්‍රාත් පදනම මත ඉංජිනේරුවන් 20 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. නමුත් ඉදිරියේදී අත්‍යවශ්‍ය තනතුරු සඳහා පමණක් සේවක සංඛ්‍යාව සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ද ඇමැතිවරයා පැවසීය.

“අනාගතයේදී අපට ලංකා විදුලිබල මණ්ඩලය කියලා එකක් තියෙන්නේ නැහැ, නමුත් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු එම කටයුතු කරන්න බොහෝ ආයතන එනවා.” යනුවෙන් ඇමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

42.31%
17.27%
32.76%