May 18, 2024

ලංකා විදුලිබල මණ්ඩලය 2024 මාර්තු 31 න් අවසන් වන වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 88.3ක දැවැන්ත ලාභයක් ලබා ඇත.

ඒ පසුගිය වසරේ එම කාර්තුවේදී ලැබූ රු. බිලියන 35.3ක පාඩුවට සාපේක්ෂවය.

2024 පළමු කාර්තුවේදී ආයතනය ලබා ඇති සම්පුර්ණ ආදායම රු. බිලියන 179 කි.

ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහන ලබානොදීම සහ විකුණුම් පිරිවැය සියයට 28 කින් අඩුවීම මෙම විශාල ආදායමට හේතුවී තිබේ.

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංවිම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සහ පිරිවැය දත්ත මත පදනම්ව සියයට 21.9 ක සමස්ත ගාස්තු අඩු කිරීමක් අනුමත කරන ලදී.

කෙසේවෙතත්, ආයතනයේ ආදායම ඉහළ නැංවීමේ පියවරක් ලෙස 2022 අගෝස්තු මාසයේ සිට විදුලි ගාස්තු විශාල වශයෙන් වැඩි කිරීමෙන් පාරිභෝගිකයන්ට තවමත් විදුලි සැර වැදී තිබේ.

ඉදිරියේදී එළඹෙන ඡන්දය හේතුවෙන් නැවත වතාවක් විදුලි බිල අඩු කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.