July 31, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව අද (ජුලි 31) ප්‍රකාශයට පත් කළේය.

මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වන බව මහබැංකුව පවසයි.

මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලද දත්ත සහ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම තුළින් ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වීම තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කරන බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දේශීය හා ගෝලීය වශයෙන් වත්මන් සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ඒවායේ ඉදිරි දැක්ම විශ්ලේෂණය කිරීම මත පදනම්ව උද්ධමනය සහ අනෙකුත් ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳ මහ බැංකුවේ ඉදිරි දැක්ම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ඉදිරිපත් කෙරේ.

මෙම වාර්තාවේ තවත් අරමුණක් වන්නේ උද්ධමනය සහ ආර්ථික වර්ධන පිළිබඳ සිදුකර ඇති පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳ තක්සේරුවක් ලබා දීමයි.

මැදි කාලීන ආර්ථික පුරෝකථන යාවත්කාලීන කරනු ලබන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති විවරණවලට අනුකූලව මහ බැංකුව සෑම වසරකම ජනවාරි සහ ජුලි මාසවලදී මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරනු ඇත.

මෙමගින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති සම්පාදනයේ විනිවිදභාවය සහ වගවීම ඉහළ නංවන අතරම ජනතාවගේ උද්ධමන අපේක්ෂා ස්ථායී කිරීමට සහය වන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මුදල් ප්‍රතිපත්ති වාර්තාව මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.