August 27, 2024

වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ආපසු හැරවීම, වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික හා සමාජීය අර්බුදය යළි ඇතිවීමට හේතුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු ඇඟවීය.

පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මධ්‍ය කාලීන හා දිගුකාලීන වර්ධනය සඳහා අවශ්‍ය ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාමාර්ගවලින් සමන්විත බව ද ඔහු පැවසුවේය.

මෙම කෙටි කාලීන ප්‍රතිසංස්කරණ දුෂ්කර වුවත්, දීර්ඝ කාලීන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට සියලු පාර්ශ්වයන්ගේ කැපවීම ආර්ථිකය තිරසාර හා පුළුල් වර්ධන මාවතකට යොමුකිරීම සඳහා වැදගත් බව ද මහ බැංකුවේ අධිපතිවරයා පෙන්වා දුන්නේය.

“මෙතෙක් ලබා ඇති ප්‍රතිඵලවල යම් දේශපාලන හෝ සමාජ අවිනිශ්චිතතාවයක් හෝ ආපසු හැරවීමක් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට බලපානු ඇති අතර ආර්ථිකයේ අපේක්ෂිත ගමන් මග ආපසු හැරවිය නොහැකි ලෙස බලපානු ඇත. මෙය පසුගිය වසර දෙක තුළ අප අත්විඳින ලද ආකාරයේ ආර්ථික හා සමාජ අර්බුදයක් නැවත ඇතිවීමට හේතු වනු ඇත”ඔහු අනතුරු ඇඟවීය.

මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙන්නේ වත්මන් ණය අර්බුදය යටතේ පසුගිය කාලයේ මෙන් බදු අඩු කිරීම් හරහා ආර්ථිකය වර්ධනය කරා යොමුකිරීමට රජයට මූල්‍ය හැකියාවක් නොමැති බවයි.

මූල්‍ය හා ණය තිරසාරභාවය යළි ස්ථාපිත කිරීම වර්තමානය සහ අනාගතය සඳහා මූලික අවශ්‍යතාව බව ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති ශ්‍රී ලංකා වෘත්තීය සමිති එකමුතුවේ 37 වැනි වාර්ෂික සමුළුව අමතමින් වේ.