November 4, 2024

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ අවසන් වසරේ සිසුන් ගමන් ගත් බස් රථය බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ මාර්ගයේ ගැට්ටක වැදී පෙරළී සිදුවූ මාරක අනතුරට හේතුව රියැදුරු රථය අධික වේගයෙන් ධාවනය කිරීම හා තිරිංග අක්‍රීය වීම බව මේ වනවිට පොලිසිය සිදුකරන ලද මූලික විමර්ශනවලින් තහවුරු වී තිබෙන බව ‘දිවයින පුවත්පත’ මේ සම්බන්ධයෙන් ගෙනඑන වාර්තාවේ සඳහන් වේ.

පසුගිය 01 වැනිදා පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් සිසුවියන් දෙදෙනකු මියගොස් තවත් සිසු සිසුවියන් ඇතුළු 39 දෙනෙක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

බස් රථය පැද වූ රියැදුරු ද මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බැවින් ඔහුගෙන් මෙතෙක් පොලිසියට ප්‍රකාශයක් ලබා ගැනීමට හැකි වී නැත.

අනතුරට මොහොතකට පෙර රියැදුරු රථයේ තිරිංග ක්‍රියා විරහිත වූ බව එම සිසුන්ට පවසා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසියේ අවධානය යොමුව ඇත.

බස් රථය අනතුරට ලක්වීමට මිනිත්තු කිහිපයකට පෙර ත්‍රිරෝද රථයක් පසුකර වේගයෙන් ධාවනය කළ අයුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක ඩෑෂ් කැමරාවේ සටහන් වී තිබේ.

කෙසේවෙතත්, මෙම අනතුරට හේතුව තිරිංග ක්‍රියා විරහිත වීමක් ද අධික ලෙස ධාවනය කිරීමෙන් සිදු වූවක් ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද බදුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මේ අතර අනතුරින් මියගිය සිසුවියන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු බදුල්ල ශික්ෂණ රෝහලේ දී සිදු කෙරිණි.

එම දේහයන් හඳුනාගැනීමට සිසුවියන් දෙදෙනාගේ මාපියෝ ඇතුළු ඥාතීහු විශාල පිරිසක් රෝහලට පැමිණ සිටියහ.

අනතුරින් මියගිය සිසුවියන් දෙදෙනාගේ මරණවලට හේතුව හිසට සහ මොළයට සිදු වූ බරපතළ හානි බව බදුල්ල ශික්ෂණ රෝහලේ දී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

අනතුරින් මියගියේ 23 හැවිරිදි නිවිතිගල, කොලඹුගම පදිංචිව සිටි ඉසුරි උමයංගනා සහ කුරුණෑගල, උණ කොළ ගෙදර දිංචිව සිටි එන්. එම්. පී. තරංගා හෙට්ටිමුල්ල වන සිසුවියන් දෙදෙනායි.

මියගිය සිසුවියන්ගේ දේහයන් 01 වැනිදා රාත්‍රියේදීම පවුලේ ඥාතීන්ට භාරදුන් බව බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ පවසා ඇත.

ඔවුන්ගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අනතුරින් තුවාල ලැබූ 39 දෙනාගෙන් කිහිපදෙනකු ඊයේ (03දා) සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

තුවාලකරුවන්ගේ ජීවිත අවදානම මේ වන විට පහව ගොස් ඇතැයි ද ඊයේ වන විට ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරි ඇතැයි ද බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ පවසයි.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 10 දෙනාගෙන් කිහිපදෙනකු ඊයේ සාමාන්‍ය වාට්ටු වලට මාරු කර යැවූ බවදඔහු සඳහන් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් මියගිය ඉසුරි උමයංගනා සිසුවියගේ ගුරුවරයකු ජනමාධ්‍ය වෙත මෙසේ කියා ඇත.

” මෙවැනි ක්‍ෂේත්‍ර චාරිකාවක් සඳහා බස් රථයක යනකොට තිරිංග නැතිවුණා කියලා ඛේදජනක සිදුවීමක් වෙනවා නම් හරිම කනගාටුදායකයි. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය වැනි තැනක මෙවැනි සිදුවීමක් වුණා කියන එක තමයි බරපතළම කාරණය. යුද හමුදාවෙන් පරිපාලනය වෙනකොට ඉතා වගකීමෙන් මේ සියලු කාර්යයන් ඉටුවෙනවා කියලයි රටේ මිනිස්සු හිතන්නේ. නැවත මෙවැනි ඛේදජනක සිදුවීම් සිදුනොවෙන්න කටයුතු කරන්න කියලා වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා
සිටිනවා.

 

42.31%
17.27%
32.76%