August 30, 2024

මත්කුඩු ජාවාරම්කරුවකුගේ නිවසේ රැඳී සිටිය දී පොලිස් නිලධාරින් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් තිදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට තහවුරුවී ඇති බවත් කළුතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මතුගම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් තිදෙනෙකි.

මත්කුඩු අලෙවි කරන වැලිපැන්න කෝපියවත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක සැකකටයුතු අන්දමින් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු රැඳී සිටින බවට ලැබුණ තොරතුරක් අනුව වැලිපැන්න පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිරත නිලධාරින් සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා රැඳීසිට ඇත්තේ මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය වෙමින් සිටියදී පළාගිය පුද්ගලයකුගේ නිවසේ බවත්, ඔහුද ඉදිරි විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරින් තිදෙනා පච්ච කොටා ගෙන පොලිස් සේවයට උචිත නොවන පරිදි හැසිරි ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

ඔවුන් තිදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පැවැසේ.