December 30, 2023

නත්තල් දිනය වෙනුවෙන් විකාශයවූ විශේෂ වැඩසටහනකදී රාගම තේවත්තේ පල්ලිය ඉදිරිපිට නත්තල් ගීතයක් ගායනා කළ නතාෂා පෙරේරා නමැති ගායිකාව ඇඳ සිටි ඇඳුම සහ ඇයගේ රංගතය පිළිබඳව අප කතෝලික සභාව විරෝධය පළකර ඇත.

ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ,ඇතැමුත් ඒ පිළිබඳ වගකීම සිද්ධස්ථාන බාර පියතුමා සහ කතෝලික සභා නායකත්වය වෙත පවරනු
පෙනෙන්නට ඇති නමුත්, එම වගකීම සැබවින්ම බාරගත යුත්තේ අදාළ වැඩසටහන විකාශය කළ රුපවාහිනී නාලිකාව බවයි.

අදාළ නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.

“මෙවර නත්තල් දින දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ නත්තල් විශේෂ වැඩසටහනකදී, රාගම තේවත්තේ, ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකා සිදිධස්ථානය ඉදිරියේ සිට නත්තල් ගීතයක් ගායනා කළ නතාෂා පෙරේරා නැමැති ගායිකාව ඇඳසිටි ඇඳුම සහ ඇයගේ රංගතය පිළිබඳව අප කතෝලික සැදැහැවතුන්ගේ මෙන්ම මේ රටේ යහපත් පොදු ජනතාවගේ ද බලවත් විවේචනයක් සහ පිළිකුල් සහගත විරෝධයක් එල්ල වී තිබේ.

ඇතැමුත් ඒ පිළිබඳ වගකීම සිද්ධස්ථාන බාර පියතුමා සහ කතෝලික සභා නායකත්වය වෙත පවරනු පෙනෙන්නට ඇති හෙයින් මේ පිළිබඳ ව පැහැදිලි කිරීමක් කිරීම අපගේ වගකීම බව අපි සිතමු. පළමුවෙන් ම අවධාරණය කළ යුත්තේ සජීවී වැඩසටහනක් නොවූ, පූර්ව පටිගත කිරීමක් වූ, මෙම වැඩ සටහන දෙරණ රූපවාහිනී නාලිකාවේ නිෂ්පාදනයක් මිස කතෝලික සභාවේ නිෂ්පාදනයක් නොවන බවයි.

ජාතික බැසිලිකා සිද්ධස්ථාන බිමෙහි මෙම රූ ගත කිරීම සදහා අවසර ලබා දී ඇත්තේ එය පූර්ණ නත්තල් සහ ආගමික වැඩසටහතක් වූ නිසාය. එහි දී අදාළ කතෝලික බලධාරීන් විසින් සාමාන්‍යයෙන් සලකා බලනු ලබන්නේ අදාළ වැඩසටහන තුළ අඩංගු වන විවිධ අංග කිතු දහමට සහ කිතුනු සම්ප්‍රදායයන්ට අනුකූල ද යන්නයි. මෙම අංගය නත්තල් ගීතිකාවක් හෙයින් එයට අවසර ලබාදීම ප්‍රශ්නයක් නොවන බව ඕනෑම අයකු පිළිගනු ඇත. එම ගීතිකාව ගයන ගායකයා/ ගායිකාව පිළිබඳ ව හෝ ඔහුගේ/ඇයගේ රංගතය සහ ඔහු/ඇය ඇඳින පළඳින දේ මෙන්ම කැමරාව හසුරවන ආකාරය පිළිබඳ තීවරණය කරනු ලබන්නේ වැඩසටහන් නිෂ්පාදකවරයා ප්‍රමුඛ කණ්ඩායම විසින් මිස කතෝලික සභා නායකත්වය විසින් නොවේ.

එහි දී මෙය තත්තල් ගීතිකාවක් බවත් ගීතිකාවක අරමුණ භක්තිමත් හැඟීමක් ප්‍රේක්ෂක සිත් තුළ ඇති කිරීම බවත්, එම රූගතකිරීම සිදුකෙරෙන පසුබිමේ ස්වභාවය පිළිබඳවත් මෙම නිෂ්පාදකවරයා සහ නිෂ්පාදක කණ්ඩායම කිසිදු ලෙසකින් සළකා නොබැලීම බරපතල වරදකි. සංස්කරණය කිරීමෙන් අනතුරුව, මෙම අංගය වැඩසටහත තුළ විකාශය කිරීම අනුමත කළ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ද ඇතුළු දෙරණ නාලිකාව එයින් සිදුව ඇති හානියට සම්පූර්ණයෙන් වගකිව යුතුය.

ජාතික බැසිලිකා සිද්ධස්ථානය යනු මේ රටේ සමස්ථ කතෝලික ජනතාවගේ ගෞරවයට ලක්ව ඇති වන්දනීය ස්ථානයකි. එහෙයින් අප සැදැහැවතුන්ගේ භක්තියට මෙමගින් කර ඇති අවමානයට මෙන්ම ඔවුන්ගේ සිත් තුළ ඇති කර ඇති වේදනාවට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ දෙරණ රූපවාහිනී තාලිකාවයි. ඒ පිළිබඳව අපි අපගේ දැඩි විරෝධය දෙරණ රූපවාහිනී නාලිකාව වෙත එල්ල කරමු.

ලක්ෂ ගණනක ප්‍රේක්ෂක පිරිසක් සහිත ප්‍රධාන මාධ්‍ය ආයතනයක් මීට වඩා බොහෝ වගකීමෙන් යුතුව හැසිරිය යුතු බව නැවත නැවත මතක් කිරීම අවශ්‍යව ඇත්තේ මේ දක්වාම මෙම නාලිකාව තම වරද පිළිගෙන ඒ පිළිබඳව තම කණගාටුව ප්‍රකාශ කිරීමට තරම්වත් උනන්දුවක් දක්වා නැති නිසා ය. මා විසින් ඒ මොහොතේම දෙරණ නාලිකාවේ කළමනාකාරීත්වයට මේ පිළිබඳ ව නිවැරදි කිරීමක් කරන මෙන් ප්‍රකාශ කළ ද තවමත් එය සිදු නොවීම කණගාටුවට කරුණකි.

තවද අප මෙවැනි වැඩ සටහනක් නිෂ්පාදනය කිරීම සඳහා ආගමික සිද්ධස්ථානයක අවසර ලබාදෙන්නේ එම වගකිව යුතු රූපවාහිනි ආයතනය වගකීමෙන් සහ සිද්ධස්ථානයේ ගෞරවය නොකෙලෙසන ආකාරයෙන් ක්‍රියා කරන ලෙස අවවාද කිරීමෙන් පසුව ය. මෙම වැඩසටහන සඳහා ද අවසර ලබාදුන්නේ එම පදනම මතය. මීට ඉහත ද එලෙස වැඩ සටහන් නිෂ්පාදනය කළ සෑම කණ්ඩායමක්ම එම නීති රීති පිළි පදිමින් වගකීමෙන් යුතු ව ක්‍රියා කර ඇති බව මා හට පැවසිය හැකිය.”

42.31%
17.27%
32.76%