September 2, 2024

සයිබර් හිරිහැරයන්ට ගොදුරුවූවන් පිරිසක් ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ පියවර ගැනීමට නියමිත බව සර්ව පාක්ෂික තරුණ ව්‍යාපාරයේ ප්‍රකාශිකා පාරමී ප්‍රනාන්දු පවසයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා තම දේශපාලන අදහස් ප්‍රකාශ කරන කාන්තාවන්ට සිදුවන හිරිහැර වැඩිවෙමින් පවතින බවයි.

එබැවින් නිශ්ශබ්දව නොසිට මාර්ගගත ආරක්ෂණ පනත යටතේ පියවර ගැනීමට සූදානම් බව ඇය සඳහන් කරයි.

කාන්තාවන් තම මතය ප්‍රකාශ කරන විට වැඩිවන සයිබර් හිරිහැර කිරීම් හේතුවෙන් ඇතැම් කාන්තාවන් දේශීය දේශපාලන ක්ෂේත්‍රයට සහභාගී වීම අධෛර්යමත් වන බව ද ප්‍රනාන්දු පවසයි.

සයිබර් හිරිහැර කිරීම යනු ඩිජිටල් ලෙස කරන ලද තර්ජන, අපවාද හෝ පහත් අදහස් හෝ බියගැන්වීමේ උත්සාහයක ඕනෑම ප්‍රකාශනයකි.

පාරමී ප්‍රනාන්දු පවසන පරිදි ඔවුන් සැමවිටම ඉලක්ක කර ඇත්තේ මතයක් ඇති කාන්තාවන් වන අතර එලෙස දක්වන අදහස් බොහෝ විට ලිංගික භාෂාව සහ ලිංගික ආවේගයන්ගෙන් සමන්විත වේ.

මේ අතර පාර්ලිමේන්තු කාන්තා බල මණ්ඩලයේ සභාපතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ කාන්තා දේශපාලනඥයන් විශේෂයෙන් තරුණ තරුණියන් දැඩි සයිබර් හිංසනයන්ට සහ අපයෝජනයන්ට ලක්වන බවයි.

බොහෝ තරුණ කාන්තා දේශපාලනඥයන්ගේ පින්තූර අවසරයකින් තොරව සංස්කරණය කර අන්තර්ජාලය හරහා මුදාහැරීමෙන් ලිංගික හිංසනයන්ට මුහුණ දීමට සිදුවන් අවස්ථාවන් ද තිබේ.

මෙරට දේශපාලනයේ කාන්තා සහභාගිත්වය ඓතිහාසික වශයෙන් අඩු මට්ටමක පවතී.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වුවද, කිසිදු අපේක්ෂිකාවක ඒ අතර නැත.