March 5, 2025

තීරුබදු රහිතව ආනයනය කර ව්‍යාජ අංක තහඩු සවිකර භාවිත කළ වාහන ළඟ තබාගත් සැකකරුවන් තිදෙනකු පැල්මඩුල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැල්මඩුල්ල පොලිසියට ලද තොරතුරක් මත තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් සහ මෝටර් රථයක් ඉකුත් ඔක්තෝම්බර් 13 වැනි දින පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා තිබියදී සොයාගෙන ඇති අතර, අනතුරුව පැල්මඩුල්ල පොලිසිය වාහන දෙක අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ඉහත වාහන සන්තකයේ තබාගැනීම, තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වීම, ව්‍යාජ අංක තහඩු යොදා භාවිත කිරීම යන වැරදි සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය සහ මාමඩල ප්‍රදේශවල පදිංචි අවුරුදු 49, 59 සහ 61 යන වයස්වල පසුවන්නන් බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් ඊයේ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.