November 27, 2023

ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට සහ සත්‍යය සෙවීමට ඇති අයිතිය සීමාකෙරෙනු ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.

රට ඒකාධිපති පාලනයක් කරා ගෙන යන මෙවැනි උත්සාහයන් පරාජය කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.

“මේ රටට අවශ්‍ය වන්නේ දැක්මේ වෙනසක්. මේ රටට අවශ්‍ය වන්නේ සියලුම ආගම් සහ ජාතීන්ට එක හා සමානව සළකන නීතිමය පරිවර්තනයක්” යැයි කාදිනල් හිමිපාණන් කියාසිටියේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි .

ඕනෑම විදේශ බලපෑමකින් මිදී ශ්‍රී ලංකාවේ සියලු සම්පත් ආරක්‍ෂා කර සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයකින් රට ස්වයංපෝෂිත කරන නව රටක් නිර්මාණය කරන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලා සිටියහ.

“මෙතෙක් මේ රට පාලනය කළ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය ප්‍රතික්‍ෂේප කිරීමට දැන් කාලය එළැඹ ඇත,” යැයි උන්වහන්සේ කියා සිටියේ ඥාති සංග්‍රහය රටෙන් තුරන් කළ යුතු බවද පවසමිනි.

පීඩාකාරී දේශපාලන නායකත්වය තුරන් කර රටට ආදරය කරන නායකත්වයක් ස්ථාපිත කිරීමට දැන් කාලය එළඹ ඇති බවද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කළහ.

“සමහර පුවත්පත්, රූපවාහිනී මධ්‍යස්ථාන සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන යම් යම් දේශපාලන කණ්ඩායම්වලට තරමක් සම්බන්ධ හෝ පක්ෂපාතී වන අතර ජනතාව නොමඟ යැවීමට ක්‍රියාකර තිබෙනවා,” යැයි ද උන්වහන්සේ තවදුරටත් පැවැසූහ.

කොළඹ අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ ජනතාව ප්‍රධාන වශයෙන් අදහස් ප්‍රකාශ කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරන බවත්, රජය සමාජ මාධ්‍ය නියාමනය සඳහන් කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාකිරීමට උත්සාහ කරන බවත්ය.

42.31%
17.27%
32.76%