June 22, 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ලැබුණු මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නගන චෝදනාවලට පිළිතුරු දෙමින් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ අදාළ අරමුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි.

“හිටපු ජනාධිපති සිරිසේනගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ද්වේශ සහගත සහ නුසුදුසු ප්‍රකාශයක්. එවැනි ප්‍රකාශ කිරීමට පෙර සිදුවූයේ කුමක්දැයි අදාළ පාර්ශ්වයන්ගෙන් විමසීමට එතුමාට යුතුකමක් තිබෙනවා” යැයි කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරයෙන් පසුව, ඉන් බලපෑමට ලක් වූ පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අපි අන්තර්ජාතික සහ දේශීය පාර්ශ්වයන්ගෙන් සහාය ඉල්ලා සිටියා. විශේෂිත සත්කාර සඳහා පෞද්ගලික රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර සහ අනාථ දරුවන් සඳහා අධ්‍යාපනික ආධාර ඇතුළු මෙම අවශ්‍යතා විවිධ වුණා. විවිධ ප්‍රදේශවල ඔවුන්ට අපෙන් සහය අවශ්‍යවුණා”

“මට හරියටම කියන්න බැහැ… අපි එකතු කළා රුපියල් මිලියන 500ක් පමණ… නමුත් සත්‍යාපනය සඳහා අප සතුව දත්ත තිබෙනවා. අපි බැංකු ගිණුම්වලින් විගණනය කරන ලද වාර්තා සකස් කර පවත්වාගෙන යනවා. මිලියන 500න් ආසන්න වශයෙන් රුපියල් මිලියන 460ක මුදලක් එම විපතට පත් වූවන් සඳහා බෙදා දී තිබෙනවා”

“එවැනි ප්‍රකාශයක් කිරීමට පෙර ඔහු [හිටපු ජනාධිපති සිරිසේන] අපෙන් විමසා සිටියේ නම් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකිව තිබියදී එසේ නොවීම ඉතා කණගාටුදායකයි. කරුණු විශ්ලේෂණය නොකර ආවේගශීලී ලෙස ප්‍රකාශ කර ඇති බවයි පෙනෙන්නේ” යනුවෙන් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පැවසීය.

මේ අතර, මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල් රංජිත් හිමිපාණන්ප්‍රකාශ කළේ “හිටපු ජනාධිපතිවරයාව කිසිවකු නොමඟ යැව්වාද යන්න අපි දන්නේ නැහැ. මෙතන දේශපාලනයක් තියෙනවා. අනෙක් අතට ඔහුගේ පක්ෂය දැන් දෙකඩ වී ඇති බව අපි දන්නවා. එබැවින්, මෙම තත්වය තුළ, ඔහු මානසික ආතතියට ලක් වෙලා ඇති. ඒ නිසා අපේ හෘද සාක්ෂිය නිරවුල් නිසා ඔහු මෙහෙම චෝදනා කළාට අපට ප්‍රශ්නයක් නැහැ.”යනුවෙනි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ලැබුණු මුදල් හෝ මුල්‍ය ආධාර කිසිවක් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් බෙදා දී නොමැති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බ්‍රහස්පතින්දා (20) චෝදනා කළේය.

පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමාට එරෙහිව බොහෝ අධිකරණ නඩු පවරා ඇත්තේ කාදිනල් රංජිත් හිමිපාණන්ගේ බලපෑම මත බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සිරිසේන කියා සිටියේ, “පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමාට කතෝලික සංවිධාන, ලෝකයේ වෙනත් රටවල්, ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සහ තවත් පාර්ශ්ව කිහිපයකින් ලැබුණු අරමුදල්වලට මොකද වුණේ?… කාදිනල්තුමා ලැයිස්තුවක් ඉදිරිපත් කළොත් හොඳයි. මෙම මුදල් ලබාගත් පුද්ගලයන් සහ මෙම මුදලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව. ඒ මුදල්වලින් එක සතයක්වත් විපතට පත් ජනතාවට ලබාදීලා නැහැ.
මම ජනාධිපති වෙලා ඉන්නකොට ආණ්ඩුවෙන් සල්ලි දුන්නට දැන් මට තනියම වන්දි ගෙවන්න කියලා නඩු දාලා. ඒක තමයි දැන් තත්ත්වය,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 

42.31%
17.27%
32.76%