April 21, 2025

පෙර දේශපාලන නායකත්වයේ කොටස් අදටත් ඇතැම් රජයේ ආයතන හරහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වටා ඇති සත්‍යය යටපත් කිරීමට අඛණ්ඩව උත්සාහ කරන බවට කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් චෝදනා කළේය.

2019 දී ජීවිත 250කට අධික සංඛ්‍යාවක් බිලිගත් බෝම්බ ප්‍රහාරවල හයවැනි සංවත්සරය සනිටුහන් කරමින් අද (21) උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති ප්‍රධාන අනුස්මරණ දේව මෙහෙයේදී කාදිනල්තුමන් මෙම ප්‍රකාශය කළේය.

දේශපාලනිකව පරාජිත බලවේගවල බලපෑමට ලක් වූ රජයේ විවිධ ආයතන විසින් පාලනය කරනු ලබන ‘පාර රාජ්‍යයක්’ රට තුළ ක්‍රියාත්මක වන බවට ඔහු චෝදනා කළේය.

මෙම ව්‍යුහය යුක්තිය කරා යන මාර්ගයට බාධා කරමින් පවතින බව ඔහු අවධාරණය කළේය.

ප්‍රහාරවලට වගකිව යුතු අය ප්‍රමාදයකින් තොරව නීතිය හමුවට පමුණුවනු ඇතැයි යන තම බලාපොරොත්තුව කාදිනල් රංජිත් හිමිපාණන් නැවත තහවුරු කළ අතර පහත සඳහන් ප්‍රධාන ඉල්ලීම් හත ගෙනහැර දක්වමින් ජනාධිපතිවරයාට සෘජුවම අභියාචනා මාලාවක් ඉදිරිපත් කළේය:

1. පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනගත කිරීම.
2. පාස්කු වැඩිදුර වැඩිදුර විමර්ශන නිරීක්ෂණයට හා නඩු පැවරීම ස්වාධීන අධිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම.
3. ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ සියලු බලවේග කවරේදැයි සොයා බලා සත්‍ය රටට හෙළිකර, ඒ සඳහා ක්‍රියාත්මක වූ චූදිතයන් තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒම.
4. 2019 සැප්තැම්බර් 21 ජනාධිපති කොමිසම් වාර්තාවේ සියලු නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීම.
5. හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නැමති ත්‍රස්ත නායකයා අතර තිබූ සම්බන්ධය හා එංගලන්තයේ චැනල් 4 මගින් ඉදිරිපත් කළ වැඩසටහන පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් දියත් කර එහි ප්‍රධාන සාක්ෂියක් මෙහෙය වූ අසාද් මව්ලානා කී දේ ගැන ගැඹුරු විමර්ශනයකට ලක්කිරීම.
6. පාස්කු ප්‍රහාරයට තුඩු තුන් සියලු රහස් කුමන්ත්‍රණ පිටුපස තිබූ අව නීතියේ සංස්කෘතිය හා එයට උඩගෙඩි දෙන පාරරාජ්‍ය මේ රටින් ඉවත් කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය.
7. රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයෝ මිස පාලකයෝ නොවන බවට නව සංස්කෘතියක් දෙසට අප රට මෙහෙයවීම.

බෝම්බ ප්‍රහාර පිටුපස ඇති මහා කුමන්ත්‍රණයක් පිළිබඳ කළ ඇඟවීම් මත ක්‍රියා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කාදිනල්තුමා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා දැඩි ලෙස විවේචනය කළේය.

යුක්තිය සඳහා ජනාධිපතිවරයාගේ අවංක කැපවීම සහ එම උත්සාහයට නායකත්වය දීම සඳහා ඉහළ නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීම නොතකා, පවතින නීති රාමුව සහ ඇතැම් නිලධාරීන්ගේ අකර්මන්‍යතාවය ප්‍රගතියට බරපතළ බාධා ඇති කර ඇති බවට කාදිනල් මැල්කම් රංජිත් කණස්සල්ල පළ කළේය.