December 18, 2023

යුක්‍රේනයේදී රුසියානු ප්‍රහාරයකින් මියගිය කපිතාන් රනිෂ් හේවගේ ගේ අවසන් කටයුතු යුක්‍රේන හමුදා ආචාර හා යුක්‍රේන වැසියන්ගේ උපහාර මැද යුක්‍රේනයේ මිලිතොන් හිදී සිදුකර ඇත.

යුක්‍රේනය ආරක්ෂා කිරීමට දිවි දුන් වීරයෙක් ලෙස කපිතාන් රනීෂ්ව නම් කරමින් මෙම අවසන් කටයුතු සිදුකර තිබේ.

මෙහිදී කපිතාන් රනිෂ්ගේ දේහය අවසන් කටයුතු සඳහා රැගෙන යන මඟ දෙපස යුක්‍රේන වැසියන් විසින් වාහනවලින් බැස දණ නමා තම ආචාරය කිරීමටද පියවර ගෙන ඇත.

දේහය ගෙනයන මග දෙපස හිම වැටෙද්දීත් කිලෝමීටර් තුනක් පමණ දුරට යුක්‍රේන වැසියන් විසින් දණ නවා ආචාරය කරන්නට පෙළගැසී සිටි බව යුක්‍රේනයේ ශ්‍රී ලාංකිකයෝ පැවැසූහ.

යුක්‍රේනය මෙයට වඩා කපිතාන් රනිෂ් වෙනුවෙන් කටයුතු කළ යුතු බව අවසන් කටයුතු සඳහා එක්වූ විදේශිකයන් විදෙස් මාධ්‍යවලට ප්‍රකාශ කර තිබිණි.

මෙම අවසන් කටයුතූ සඳහා රනිෂ්ගේ මව හා සහෝදරිය ද එක්ව සිටි බව වාර්තා විය.

දෙසැම්බර් 4 වැනිදා යුක්‍රේනයේ බක්මුත් හිදී කපිතාන් රනිෂ් හේවගේ මිය යන්නේ තම සහොද්ර සගයකුගේ දේහය රැගෙන ඒමට රුසියානු දේශ සීමාව ආසන්නයේ මෙහෙයුමකට එක්වූ මොහොතක රුසියානු හමුදා එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරයකිනි.

මෙම සටන්වලදී කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකාවේ සිට ගොස් යුක්‍රේන සන්නද්ධ හමුදා ජාත්‍යන්තර ලීගයේ පළමුවැනි විශේෂ බළකායට එක්වූ ශ්‍රී ලංකා හමුදාවෙන් ඉවත් වූ තිදෙනකු මියගියහ.

කපිතාන් රනිෂ් එම ඒකකයේ අණදෙන නිලධාරියා විය.(අද දෙරණ)

42.31%
17.27%
32.76%