42.31%
17.27%
32.76%
September 19, 2023

රාජ්‍ය ආයතනවලින් නිවැරැදි තොරතුරු කඩිනමින් ලබාගැනීමට නොහැකිවීම නිසා නිවැරැදි පුවත් ජනතාව අතරට ගෙන යෑමට ප්‍රධාන බාධාවක් බව පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති විවෘත හා වගවීම සහිත රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමින් ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සඳහන් කර ඇත.

විශේෂයෙන්ම ඇතැම් ලේකම්වරුන් සම්බන්ධීකරණය නිසි ආකාරයෙන් සිදුනොකිරීම හේතුවෙන් රජය විසින් සිදුකරන යහපත් සංවර්ධන වැඩසටහන් පවා ජනතාව අතරට යෑමට අපොහොසත් වී ඇති බව ඔවුන් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඊට අදාළ වැඩපිළිවෙළක් සකස්කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.එම්.එස්.බී ජයසුන්දරට එම කමිටුව නිර්දේශ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චිගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා වී තිබේ.

විවෘත හා වගකීම් සහිත රජයක් තුළ යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා මෙම කමිටුව රැස්ව ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජනමාධ්‍ය විසින් ඉටු කරන කාර්යභාරය අගය කළ කමිටු සභාපතිවරයා, ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන මුහුණදෙන පවතින ගැටලු සහ බාධාවන් විසඳීමට අවශ්‍ය නිර්දේශ සහ උපරිම සහයෝගය ලබාදෙන බව පවසා තිබේ.

වෘත්තීය ජනමාධ්‍යවේදීන් බිහිකිරීම සඳහා පුහුණු ආයතනයක් පිහිටුවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වී ඇති අතර, ඊට අදාළ පනත් කෙටුම්පතක් මේ වනවිට සකස් කරමින් පවතින බවද මෙහිදී ප්‍රකාශ වී තිබේ.

එමෙන්ම එම වැඩකටයුතු නොපමාව ක්‍රියාත්මක කරන ලෙස කමිටුව උපදෙස් දී තිබේ.

ජනමාධ්‍ය නාලිකා ශ්‍රේණිගත කිරීමේ විනිවිදභාවයෙන් යුත් ස්වාධීන ආයතනයක් පිහිටුවීම, ජනමාධ්‍යවේදීන්ගේ ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීම, ජනමාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව වාර්තා කිරීමේ අයිතිය තහවුරු කිරීම, මේ සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය, වැරදි තොරතුරුවලට අදාළ සමාජ මාධ්‍ය නියාමනය කිරීම සහ මාධ්‍ය බලපත්‍ර ලබාදීමේදී පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව මෙම සාකච්ඡාවට අදාළ නිර්දේශ පාර්ලිමේන්තුව හරහා රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%