July 24, 2023

දුම්රිය වර්ජනයක් ක්‍රියාවට නංවා මහජනතාව අපහසුතාවට පත්කළ පුද්ගලයන්ට එරෙහිව කැබිනට් රැස්වීමේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ක්‍ෂණික වැඩවර්ජන දියත් කර මහජනතාවට අපහසුතාවයක් ඇති නොකරන ලෙස තමන් දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම්දුන් බවයි.

කිසියම් වෘත්තීය සමිතියකට හෝ වගකිවයුතු නිලධාරියකුට සිය ඉල්ලීම් වෙනුවෙන් වැඩවර්ජනයක් දියත් කිරීමට අවශ්‍ය නම්, ඒ පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී (GMR) සමඟ සාකච්ඡා කළ යුතු බවත්, එසේ නොමැති නම් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ද, අවසාන පියවර ලෙස විෂය භාර ඇමැතිවරයා වෙත ද ගැටලුව ගෙන යා හැකි බවත් ඇමැතිවරයා පවසයි.

“මට පුළුවන් ප්‍රශ්නවලට මැදිහත්වෙලා කැබිනට් ඇමැතිවරු එක්ක සාකච්ඡා කරලා විසඳුම් දෙන්න” ඔහු සඳහන් කරයි.

“මේ හදිසි වැඩවර්ජනය පිටුපස මොකක් හරි දේශපාලන පසුබිමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි ඒක මුලින්ම හොයල බලන්න ඕන. ජනතාව නිතරම ඉල්ලන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරන්න කියලා. නමුත් මම කිව්වා ප්‍රශ්න විසඳන්න ටිකක් කල් දෙන්න කියලා. දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාව අපහසුතාවට පත්කරන්න හදනවා නම් මම කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කරලා දැඩි තීරණයක් ගන්නවා” යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.