July 27, 2024

ගංජා පාර්සලයක් දමා තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ති‌බේ.

ඔහුගේ වැඩ තහනම් කර ඇත්තේ, කොළඹ දකුණ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයකට අනුව ය.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට චෝදනා එල්ල විය.

රාජකාරී වේලාව තුළ නිල ඇදුමින් බුලත් විටක් සපමින් සිටීම, රියදුරු හෝ රථයේ ගමන් ගත් වෙනත් පුද්ගලයකු සහ සහායක නිලධාරියකුවත් නොමැතිව මෝටර් රථය පරීක්ෂා කිරීම යන චෝදනා කිහිපයක් යටතේ මෙම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.