March 16, 2025

විදේශ රැකියා ලබාගැනීමේදී පෞද්ගලික රැකියා නියෝජිතායතන පිළිබඳ විශ්වාසදායක තොරතුරු ලබාගැනීම සඳහා ‘1989’ ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුවේ පැවැති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශන කාරක සභාවේදීය.

විදේශ රැකියා ලබාදෙන බවට බොරු ප්‍රකාශ කරමින් පුද්ගලයන් වංචා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළකළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අනුමත කරන ලද නියෝජිතායතන සහ ගාස්තු පිළිබඳ සියලු තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියෙන් සොයාගත හැකි බව ද මෙම රැස්වීමේදී අමාත්‍යාංශ නිලධාරීහු කමිටුවට දන්වා සිටියහ.

කිසියම් පාර්ශ්වයක් අනුමත මුදලට වඩා වැඩි මුදලක් අයකරන්නේ නම් හෝ බලපත්‍රයක් නොමැතිව කිසියම් ක්‍රියාවලියක නිරත වන්නේ නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ගොනුකළ හැකි බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.