42.31%
17.27%
32.76%
September 26, 2023

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවේ තමා සිදුකළ ප්‍රකාශ පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සාවද්‍ය ප්‍රකාශ සිදුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති නිවාඩ් කබ්රාල් ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමන් ඉදිරිපත් කරන සාක්ෂි හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ට තර්ජන එල්ල වන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇතැම් පිරිස් කලබලයට පත්ව සිටින බව ඔහු පවසයි.

:”මූල්‍ය බංකොලොත්භාවය පිළිබඳ ප්‍රකාශයට හේතු විමර්ශනය කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී මා විසින් ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු ඇතැම් පිරිස් දැඩි කලබලයට පත්ව සිටින බව මම නිරීක්ෂණය කළෙමි.

ඒ සම්බන්ධව, පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වා ඇතුළු පිරිසට මෙම විෂය සම්බන්ධයෙන් ඔවුන්ගේම අදහස් දැරීමට නිදහස ඇති අතරම, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සත්‍යවාදීව සාක්ෂි දීම මගේ අයිතිය සහ වගකීම බවත්, ඔවුන්ගේ අදහස් හෝ ප්‍රකාශවලින් මාහට මඟ පෙන්වීමක් අවශ්‍ය නොවන බවත් මම මතක් කිරීමට කැමැත්තෙමි.

මගේ තර්ක සහ/හෝ අනතුරු ඇඟවීම් තහවුරු කිරීම සඳහා සවිස්තරාත්මක කරුණු සහ සංඛ්‍යා සමඟ මගේ සාක්ෂි ඉදිරිපත් කර ඇති බව ද සිල්වා මන්ත්‍රීවරයාට සහ අනෙකුත් අයට මම මතක් කළ යුතු අතර, අනාගතයේදී ද මම එය නිර්භයව ඉදිරිපත් කරමි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී මගේ සාක්ෂිය දැනට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇති බවත්, ඕනෑම පුද්ගලයෙකුට නිදහසේ ඒ සඳහා ප්‍රවේශ වී මා ප්‍රකාශ කළ දේ හරියටම දැනගත හැකි බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

මම කිසිම අවස්ථාවක, කිසිවකුට එරෙහිව කිසිදු තර්ජනයක් නොකළ නමුත්, හුදෙක් යම් යම් ක්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයන් වෙත සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.

මා දැනටමත් තේරීම් කාරක සභාවේදී පෙන්වා දී ඇති පරිදි, 2022 සැප්තැම්බර් 2 වැනි දින පාර්ලිමේන්තුවේදී ඔහු විසින් පිළිගත් පරිදි, 2022 අප්‍රේල් 12 දින පැහැර හැරීම ප්‍රකාශයට පත්කිරීමට ගත් තීරණයේදී ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රමුඛව පෙනීසිට ඇත.”

මෙහිදී අජිත් නිවාඩ් කබ්රාල් හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය උපුටා දක්වා ඇත.

“අලි සබ්රි ඇමතිතුමා මේ වෙලාවේ ගරු සභාවේ ඉන්න නිසා මම මේ කියන්නේ. සදුදා දවසක අලි සබ්රි ඇමතිතුමා මට කතාකළා. මම හිතන්නේ රෑ 8.00 ට විතර. එතුමාරෑ 8.00 ට විතර මට කතා කරලා කිව්වා“ හර්ෂ අපිට ලොකු ගණනක් ගෙවන්න තිබෙනවා. බලන්න, අතේ සල්ලි නැහැනේ. මේ කියපු ගණන්නැ හැනේ වියදම්ක රන්න” කියලා. පස්සේ අලි සබ්රි ඇමතිතුමාට මම කිව්වා, “සබ්රි, ඔයා බලන්න අපට කොහෙන්හෝ ඉන්දියාවෙන්හෝ කීයක් හ‍රි ගන්න පුලුවන්කමක් තිබෙනවාද කියලා. ඩොලර් මිලියන 60 ක්. පොඩි ගණනක්නේ. අපි හොයාගනිමු”. කියලා. “සමගි ජනබලවේගයේ අපිත් උදව් කරන්නම්” කියලා. මම කිව්වා අලි සබ්රි ඇමතිතුමාට මතක ඇති, අපි කිව්වා. “අපි හරි ඉන්දියාවට කතාකරන්නම්” කියලා. ඊට පසුව ඇමතිතුමා මට දෙවනිපාරත් කතාකළා, රෑ 9.15ට විතර. කතාකරලා මට කිව්වා, “හර්ෂ, ඩොලර් මිලියන 60ක් නෙවෙයි, අපට ඩොලර් මිලියන දෙසිය ගණනක් ගෙවන්න තිබෙනවා, අතේ තිබෙන්නේ ඩොලර්මි ලියන 50යි”. කියලා. එතුමා ඇහුවා“අපි මොකද කරන්නේ?” කියලා. විවෘතව එතුමා ඇහුවේ. අපටත් පුලුවන් හැම අවස්ථාවේම උදව් කරන්නයි අපි බැලුවේ. ඊට පසුව තමයි එතුමා ජනාධිපතිතුමා එක්ක කතාකරලා, මහ බැංකුවේ අධිපතිතුමා එක්ක කතාකරලා ඒ කටයුත්ත කළේ.”

ඉහත ප්‍රකාශයට අනුව, බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කිරීම හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ නිවැරදි වාර්තාවක් ලබාදීමට හැකි පුද්ගලයන්ට පහරදීමෙන් සිල්වා මන්ත්‍රීවරයා ඔහුගේ අතීත ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන බවද අජිත් නිවාඩ් කබ්රාල් මෙහිදී සඳහන් කරයි.

“මන්ත්‍රී සිල්වා වැන්නවුන් කරන පුහු චෝදනාවලින් සැලෙන්නේ නැති බවත්, ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය පිළිබඳ සංවිධානාත්මක ප්‍රකාශය හිතාමතාම සැලසුම් කළ වැරදිකරුවන් හෙළිදරව් කරන බවත් මම ඔහුට තරයේ දන්වා සිටිමි.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%