October 15, 2024

හඳුනාගනු ලැබ ඇති ආයතන වෙතින් වර්ෂයක කාලයක් සඳහා දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් සපයා ගැනීම පිණිස පසු මිල දී ගැනීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා සෞඛ්‍ය ඇමතිවරිය වශයෙන් අගමැතිවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

එම කටයුතු සිදී කිරීමට නියමිතව ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම දැනටමත් පසු මිල දී ගැනීම් සඳහා ගිවිසුම්ගත වී ඇති දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනවලට අගතියක් නොවන පරිදිය.

ඖෂධ ඇතුළුව වෛද්‍ය සැපයුම් 454ක් සැපයීම සඳහා හැකියාව පවතින දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන 49ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය මඟින් හඳුනාගනු ලැබ ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කටයුතුවලට ප්‍රමුඛතාව ලබා දෙමින් දේශීය ඖෂධ නිෂ්පාදකයන් උනන්දු කරවීම සඳහා පසු මිල දී ගැනීමේ ගිවිසුම් (Buy Back Agreement) ක්‍රමවේදය යටතේ දේශීයව නිපදවන ඖෂධ මිල දී ගැනීම සඳහා පළමුව අනුමැතිය ලබා දී ඇත්තේ 2013-11-29 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදීය.

ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ගිවිසුම්ගතව ඇති දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදනවලට වසර 15ක කාලයක් සඳහා පසු ගිවිසුම්ගත වීමටත්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ලබා දෙනු ලබන ප්‍රමුඛතාව මත එම ඖෂධ මිල දී ගැනීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දේශීය ඖෂධ නිෂ්පාදකයන් අතර ඖෂධ සැපයීම සඳහා වන පසු ගිවිසුම් අවුරුදු 10ක් දක්වා ක්‍රියාත්මක කිරීමටත් 2018-10-02 දින ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී තිබී ඇත.

ඒ අනුව, සපයනු ලබන ඖෂධවල මිල තීරණය කිරීම සඳහා මිල නියම කිරීමේ කමිටුවක් ද පත් කරනු ලැබ තිබිණි.

එම ඖෂධ මිල දී ගැනීමේ ක්‍රමවේදය අනුව දැනට රටේ වෛද්‍ය සැපයීම් අවශ්‍යතාවෙන් 20%ක් පමණ ආවරණය වන අතර, එම ප්‍රමාණය 40%ක් දක්වා වැඩි කිරීමේ හැකියාව පවතින බව හඳුනාගෙන ඇති බැවින් නව සෞඛ්‍ය ඇමැතිවරිය ලෙස අගමැතිවරිය අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

 

42.31%
17.27%
32.76%