42.31%
17.27%
32.76%
October 9, 2023

මාතර නිල්වලා ගඟ හරහා ලවණ බාධකය ඉදිකිරීමත් සමග දැනට පවතින දැඩි වර්ෂාපතනය සමග එකතු වී ඇති වැසි ජලය සහ ගංවතුර බැසයැවීම වෙනුවෙන් සුදුසු කෙටි කාලීන තාක්ෂණික ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා සහ දීර්ඝ කාලීනව නැවත එවැනි පසුබිමක් ඇති නොවීමට අවශ්‍ය ස්ථිර තාක්ෂණික විසදුමක් ලබාගැනීම වෙනුවෙන් තීරණයක් ගැනීමට හමුවක් පවත්වා තිබේ.

අද පෙරවරුවේ පැවැති මෙම හමුවට ජල සම්පාදන ඇමැතිවරයා, වාරිමාර්ග රාජ්‍ය ඇමැතිවරයා, මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, ජල සම්පාදන, වාරිමාර්ග, මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ලංකා හයිඩ්‍රෝලික්ස් ආයතනය ඇතුළු සියලුම අදාල අමාත්‍යංශ සහ ආයතනවල ‍නිළධාරීන් එක්ව තිබේ.

එහිදී කෙටි කාලීන කඩිනම් විසදුමක් ලෙස දැනට පවතින ලවණ බාධකයේ ඉදිකිරීම් කොටසක් වෙනස් කිරීමටත්, අතුරු ඇළ මාර්ග අවහිරතා ඉවත් කිරීමටත් එකඟතාව පළව ඇත.

එම කටයුතු අදාළ ඉංජිනේරුවන්ගේ අධික්ෂණය යටතේ යුද සහ නාවික හමුදාවල ඉංජිනේරු සේවා, කිමිදුම් සහ අනෙකුත් අවශ්‍ය නිළධාරීන්ගේ සහායෙන් අද දිනයේම ආරම්භ කිරීමට අවශ්‍ය අනුමැතිය ජනාධිපතිවරයා ලබාදී ඇත.

ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රතිපාදන මත සහ වාරිමාර්ග සහ ජල සම්පාදන මණ්ඩලයේ නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ එම කටයුතු සිදුකෙරෙන බව පැවැසේ.

එමෙන්ම ඉදිරියේ නියං තත්වයන් සමග පානීය ජල අවශ්‍යතාවලට බාධාවක් නොවන ලෙස එය සිදුකිරීමට උපදෙස්ද ලබාදී ඇත.

මෙම දීර්ඝ කාලීන ස්ථිර විසදුම ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මගින් අදාළ අමාත්‍යංශ දෙක ඉදිරිපත් කිරීමටද තීරණය කෙරී තිබේ.

මේ අතර වාර්තා අනාවරණය කරන්නේ, නිල්වලා ගඟේ ලවණ බාධකය ආසන්නයෙන් විකල්ප ඇල මාර්ගයක් සකස් කර ගංවතුර බැසයෑමට ක්‍රමවේදයක් මෙලෙස යෝජනාවී ඇති බවයි.

42.31%
17.27%
32.76%