October 16, 2024

නව යොවුන් වියේ පසුවන දරුවන් අතර මානසික අවපීඩනය ඉහළ මට්ටමක පවතින අතර, ඔවුන් සියදිවි හානිකර ගැනීමට සහ මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වීමේ අවදානමක් පවතින බැවින් මව්පියන් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව වෛද්‍ය විශේෂඥ‍යෝ පෙන්වාදෙති.

මනෝ වෛද්‍ය උපදේශක සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ නිර්මාතෘ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පවසන්නේ, මානසික අවපීඩනයෙන් පෙළෙන නව යොවුන් වියේ පසුවන දරුවන් අවදානම් හෝ සියදිවි හානිකර ගැනීම වැනි ක්‍රියා සඳහා යොමුවීමේ වැඩි අවදානමක් පවතින බවයි.

“තමන් වෙනස් වන බව දරුවා තේරුම් ගත් විට, අභ්‍යන්තර ආතතිය හෝ වෙනස්වීම් සමඟ කටයුතු කිරීමට විවිධ ක්‍රම සොයනවා. ඔවුන් අනවශ්‍ය ප්‍රවණතා වෙත යොමුවනවා; මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කරන්න, පෙම්වතියන් හෝ පෙම්වතුන් සොයාගැනීමට උත්සාහ කරනවා, මෙය යම් සහනයක් ලබාදෙනු ඇතැයි ඔවුන් සිතනවා”වෛද්‍ය ජයන් මෙන්ඩිස් පවසයි.

මානසික අවපීඩනය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ සලකුණු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද වෛද්‍ය ජයන් මෙන්ඩිස් අවධාරණය කරයි.

”මව්පියන්, ගුරුවරුන් සහ සම වයසේ මිතුරන් දැනුවත් විය හැකි රෝග ලක්ෂණ තිබෙනවා. සමාජ‍යෙන් හුදෙකලා වීම; මිතුරන් සහ පවුලේ අය මග හැරීම; වැනි තත්වය, මුල් අවදියේදී ඔවුන් සහ සමාජය අතර ගනුදෙනු අඩුවීමට පටන් ගන්නවා”

”ඔවුන් ආදරය කරන අය සමඟ පවා කෝපය, නුරුස්නා බව සහ සන්නිවේදනය කිරීමට අකමැති වනවා”

”එවැනි දරුවන් හුදකලා වන අතර නිතර හඬාවැටෙන තත්ත්වයක් දැකිය හැකියි. ඔවුන් සියදිවි නසාගැනීම් ගැන හෝ ජීවිතයේ තේරුමක් නැති දෙයක් ගැන කතාකිරීමට පවා පටන්ගන්නවා”

”මෙම වෙනස්කම් පිළිබඳව මාපියන් අවධානයෙන් සිටිය යුතුයි.” යනුවෙන් වෛද්‍ය ජයන් මෙන්ඩිස් පවසයි.

ජංගම දුරකථන අධික ලෙස භාවිත කිරීම මානසික අවපීඩනයට හේතු විය හැකිදැයි විමසූ විට, වෛද්‍ය මෙන්ඩිස් පවසා ඇත්තේ, මිනිසුන් දුෂ්කරතාවන්ට මුහුණදෙන විට මොළයේ රසායනික වෙනස්වීම් වේගවත් වීම හේතුවෙන් මානසික අවපීඩනය ඇති වන බවයි. දුරකථනවලට ඇබ්බැහි වීම හුදෙක් ඔවුන් ඍණාත්මක සිතුවිලිවලින් මගහැර යායෑමේ ක්‍රියාවලියට මුහුණ දීමේ යාන්ත්‍රණයක් බව ද ඔහු පැවසුවේය.

“ජංගම දුරකථනය භාවිත කිරීම මානසික අවපීඩනයට හේතුවක් නොවේ. මේක තමයි අවසාන ප්‍රතිඵලය” ඔහු පැවසීය.

විශාදය අධ්‍යාපනික වශයෙන් ද ප්‍රකාශ විය හැකි බවත්, අඛණ්ඩව විෂයයන් සඳහා දස්කම් දක්වන දරුවන්ගේ තෙහෙට්ටුව සහ මානසික ඒකාග්‍රතාවය නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ දක්ෂතා පහත වැටෙන බවත්, එය මානසික අවපීඩනය තීව්‍ර කළ හැකි තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%