September 5, 2024

ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනකුට එරෙහිව නගා තිබූ කුඩු ග්‍රෑම් 196ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සදහා ඊයේ (04) විවෘත වරෙන්තු නිකුත් කළේය.
පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරුණු දක්වමින් මෙම නඩුවෙන් නිදොස් කර නිදහස් කෙරුණු තවරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍රකුමාර නමැති විත්තිකරුවන් විදේශවලට පළාගොස් ඇතැයි කියමින් කළ ඉල්ලීමක් පිළිගනිමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස විවෘත වරෙන්තු නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල ගොංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දි මහ මුහුදේදී අත්අඩංගුවට ගැනුණ කුඩු ජාවාරම්කරුවන් පස්දෙනා නිදොස් කර නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දුන් තීන්දුව ඉවත දමා විත්තිකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරිණි.

පැමිණිල්ලේ සාක්කි නිසි ලෙස සළකා බැලීමකින් තොරව මෙන්ම පැමිණිල්ලට සාධාරණ නඩු විභාගයක් ලබානොදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2023 අප්‍රේල් මාසයේදී ලබාදුන් තීන්දුව බල රහිත කර ඉවත දමන්නැයි අභියාචනා කරන නීතිපතිවරයා විත්තිකරුවන් යළි රිමාන්ඩ් බාරයට පත්කරන්නැයි ද අදාළ අභියාචනය මඟින් නීතිපතිවරයා ඉල්ලීම් කර තිබිණි.

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳ වූ අවස්ථාවේදී මෙම නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන කරුණු දක්වමින්, නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට නිදොස් කොට නිදහස් කෙරුණු වරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ ත්වරාසා සහ කන්දයියා චන්ද්‍ර කුමාර නමැත්තන් මේ වන විට අධිකරණය මග හැර විදේශ රටවලට පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කීවාය.

තවරාසා සුදාකරන් නමැති විත්තිකරු මැලේසියාවටත්, කන්දයියා චන්ද්‍ර කුමාර් නමැති විත්තිකරු සිංගප්පූරුවටත් පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කී සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන විත්තිකරුවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළ නීතිමය පියවර ආරම්භ කර ඇතැයි ද කීවාය.

අධිකරණය මඟහැර විදේශ රටවලට පළාගොස් ඇති මෙම පුද්ගලයන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කරමින් ඔවුන්ට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු පිටපත් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්, අදාළ විත්තිකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.