May 23, 2024

කුරුඳුවත්ත ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක කොන්දොස්තරවරයකුට ගිනි අවියක් පෙන්වා බියගන්වා ඔහුට මරණීය තර්ජනය කළ බව කියන සැකකාර ව්‍යාපාරිකයකු මෙම 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (22) නියෝග කළේය.

කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන මොහොමඩ් නමැති පුද්ගලයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සාපරාධී බියගැන්වීම, අයුතු අවහිරය, තර්ජනය කිරීම, ඇතුළු කරුණු කිහිපයක් යටතේ කුරුඳුවත්ත පොලිසිය මගින් සැකකරුට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

කොළඹ සිට මත්තේගොඩ දක්වා ධාවනය කරන මෙම බස් රථය පෙරේදා (21) පෙරවරු 9.30 ට පමණ කුරුඳුවත්ත ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබියදී සැකකාර පුද්ගලයා ධාවනය කරගෙන පැමිණි කාර් රථයක් එම බස් රථයට ඉදිරියෙන් නවතා පාර අවහිර කර ඇති බවත්, පසුව එහි රියදුරා බස් රථයෙන් බැස ගොස් බස් රථය අවහිර කිරීමට හේතු විමසා ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකාර පුද්ගලයා හා බස් රථයේ රියදුරු අතර කතාබහක් සිදුවෙමින් තිබෙන අතරතුර බස් රථයේ කොන්දොස්තරවරයාද එම ස්ථානයට පැමිණ ඇති බවත් ඒ අවස්ථාවේදී කොන්දොස්තරවරයා හා සැකකාර පුද්ගලයා අතරද උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවද පොලිසිය පවසයි.

එම වචන හුවමාරුවෙන් අනතුරුව කොන්දොස්තරවරයා හා රියදුරා බස් රථය ධාවනය කරගෙන යෑමට උත්සාහ ගත් අවස්ථාවේදී පිස්ටල් වර්ගයේ ගිනි අවියක් රැගෙන බස් රථයට ඇතුල්වී ඇති සැකකාර පුද්ගලයා එම ගිනි අවිය පෙන්වා කොන්දොස්තරවරයාට මරණීය තර්ජන එල්ල කර ඇති බවද අධිකරණයේදී හෙළිවිය.

සැකකාර පුද්ගලයා සතුව තිබූ ගිනි අවිය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදුකරන බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.

පොලිසිය දැක්වූ කරුණු පිළිබඳ අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා මෙම 27 දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

42.31%
17.27%
32.76%