February 18, 2025

පාරිභෝගිකයන් අපේක්ෂා කරන පරිදි මධ්‍යසාර සහ දුම්කොළ මිල ගණන් මෙවර අයවැයෙන් ඉහළ නොයන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, සංශෝධිත සුරාබදු බද්දෙන් මෙම වසරේ ජනවාරි මස මුලදී සියලුම මධ්‍යසාර පාන වර්ග සහ දුම්වැටිවල මිල ඉහළ දමා ඇති බැවින් ඒවා අයවැයෙන් නැවත සංශෝධනය නොකරන බවයි.

ජනවාරි 11 වැනි දින නිකුත් කරන ලද 1/2025 සුරාබදු නිවේදනය මගින් මත්පැන් ලීටරයකට 6% කින් සුරාබදු සඳහා වබ බදු වැඩිකිරීමට උපදෙස් දී ඇත.

එමෙන්ම දේශීයව නිෂ්පාදනය කරන සිගරට් සඳහා රුපි‍යල් 5 සිට රුපියල් 10 දක්වා බදු ඉහළ නංවා තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළකර ඇත්තේ, රාජගිරියේ පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පැවැති සුරාබදු නියාමකවරුන් සහ රියදුරන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් රෝහණ සේනාරත්න, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වන රොෂාන් පෙරේරා සහ කපිල විජේසිංහ ද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.