June 4, 2023

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් “බුදු දහම විශ්වීය ප්‍රතිපදාවක් ලෙස ලෝකයට” යන තේමාව යටතේ ‘සවුත් – සවුත් චින්තන පර්ෂදය’ (South – South Research Initiative) සංවිධාන කළ මහජන සම්මන්ත්‍රණය කොළඹදී සාර්ථකව අවසන් විය.

කොළඹ බණ්ඩාරනායක අන්ර්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති සම්මන්ත්‍රණයේදී, “මානසික සුවතාව උදෙසා බුදුදහම”, “නවීන අර්බුද හමුවේ බෞද්ධ විසඳුම්”, “බුදු දහම අතීත ලෝකයෙන් අනාගත ලෝකයට” යන තේමා ඔස්සේ සැසි කිහිපයක් පැවැත්විණි.

මනෝ විද්‍යාව පිළිබඳ උපාධිධාරී සිතුමිණි චාතුර්යා, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ ලේකම් කථිකාචාර්ය ග්‍රේෂන් බුද්ධික විජේසිංහ, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ විධායක සභික, දේශක රමේෂ් මධුසංඛ යන මහත්ම මහත්මීහු මෙහිදී දේශන පැවැත්වූහ.

කොළඹ අවට දහම් පාසල් සිසු සිසුවියෝ හා ගුරුවරු සමග බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීහු මෙම සම්මන්ත්‍රණයට එක්වූහ.

කථිකාචාර්ය ග්‍රේෂන් විජේසිංහ සිය සැසියේදී පැවසුවේ ශ්‍රී ලංකාව සහ ලෝකය මුහුණ දී සිටින ආර්ථික හා සමාජයීය අර්බුද සඳහා විසඳුම් බුදුදහම තුළ ඇති බවයි.

භෝගාධිගම සූත්‍රය, ඛත්තිය සූත්‍රය, කුල සූත්‍රය, ගෝපාලක සූත්‍රය වැනි සූත්‍ර දේශනාවන් නිදසුන් කරගනිමින් ඔහු ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

“කුල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්පත්වල සීමාවත් අවශ්‍යතාවල සීමාවත් දැන පරිභෝජනය කරන්න කියලා. දශක කිහිපයකට කළින් තිරසර සංවර්ධනය කියලා වචනයක් ලෝකයට හඳුන්වාදුන්නා. සම්පත් වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිත කරන්න කියලා බටහිරින් කියනවා අද අපිට. හැබැයි බුදුහාමුදුරුවෝ කුල සූත්‍රයේදී එය දේශනා කරන්නේ බොහෝ කාලයකට පෙරයි. ඒක නිසා තමයි මේ වර්තමාන ගැටලු වෙනුවෙන් බුදුදහම වඩා ප්‍රායෝගිකව ඉදිරිපත් වෙලා තියෙන්නේ.’’

“බුදු දහම අතීත ලෝකයෙන් අනාගත ලෝකයට” සැසියට එක් වූ දේශක රමේෂ් මධුසංඛ බුදු දහම ඕනෑම අයකුට අනුගමනය කළ හැකි ප්‍රතිපදාවක් බව පැහැදිලි කරමින් එය විශ්වීය උරුමයක් බව අවධාරණය කළේය.

“අද අපි ලෝකයක් විදිහට පළවෙනියට හිතන්න ඕන කාරණය තමයි, අපි කොහොමද බුදුදහම ගැන ගෝලීය සාකච්ඡාවක් ඇති කරන්නේ කියන එක. මේ මෑතක ඉන්දියාවේ පැවැත්වුණා ඒ සඳහා සුවිශේෂි කාර්යයක්. ඒ තමයි ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණු ගෝලීය බෞද්ධ සමුළුව. මෙහි ප්‍රධානම අරමුණක් වුණේ ගෝලීය වශයෙන් විවිධ බෞද්ධ සම්ප්‍රදායන්වල කණ්ඩායම් ඒකරාශි කරලා බෞද්ධ අදහස්, බෞද්ධ මතය ඒකාබද්ධ කිරීම. එහිදී ප්‍රධාන වශයෙන් අවධානයට යොමුවුණා ගෝලීය වශයෙන් මතුවෙලා තියෙන ගැටලු නිරකරණය කරගන්න බුදු දහම භාවිත කළ හැකි බව පෙන්වීමට පෙරට ආයුතු බව. එමෙන්ම බුදු දහම නූතන විද්‍යාත්මක ලෝකය සමග සම්බන්ධ කරලා, විද්‍යාත්මක චින්තනය එක්ක බුදු දහම බද්ධ කරන්නේ කොහොමද කියන එක පිළිබඳ සංවාදයකුත් ඉන්දීය සමුළුවේදී සිදුවුණා.’’

මේ අතර බුදු දහම විශ්වය හා සම්බන්ධ කිරීමට ඇති පහසුම හා වැදගත්ම කාරණය පර්යේෂණ සිදු කිරීම බව දේශක රමේෂ් මධුසංඛ පෙන්වා දුන්නේය.

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගීවීම ඇගයීමක් වශයෙන් පැමිණි සියලුදෙනාටම සහතික පත්‍රයක් ද ප්‍රදානය කෙරිණි.