September 19, 2024

2023 දී තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනප්‍රිය යූ ටියුබ් සහ බ්ලොග්කරුවකු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) යටතේ බෲනෝ දිවාකර විසින් මෙම නඩුව පවරා ඇති අතර ඔහුව වැරදි ලෙස අත්අඩංගුවට ගැනීමට වන්දි ලෙස රුපියල් මිලියන 50ක් ඉල්ලා තිබේ.

‘SL-Vlogs’ යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර 2023 මැයි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ බුදුදහමට අවමන් සහගත ලෙස ප්‍රකාශ කළ බවට චෝදනා ලැබූ නතාෂා එදිරිසූරියගේ ආන්දෝලනාත්මක ප්‍රහසන වැඩසටහන සම්බන්ධයෙන්ය.

ඒ, ඔහුගේ යූ ටියුබ් නාලිකාව වන ‘SL-Vlogs’හි අදාළ ප්‍රහසන වැඩසටහන ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මතය.

පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කෙසේවෙතත්, ඔහුව නතාෂා එදිරිසූරිය සමඟින් 2024 ජුනි මාසයේදී නිදහස් කරනු ලැබුවේ බුදුදහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බව කියන නඩුවෙන් පමණි.