January 3, 2024

ඇවටාර්(Avatar) රූපයක් යොදා ගනිමින් මෙටාවර්ස් වීඩියෝ ක්‍රීඩාවක යෙදුණු 16 හැවිරිදි දැරියක එම ක්‍රීඩාව තුළදී සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

දැරිය හෙඩ්සෙට් එකක් භාවිත කරමින් Virtual Reality ක්‍රීඩාවක යෙදී සිටියදී පිරිමින් කිහිපදෙනකු නියෝජනය කරන ඇවටාර් විසින් ඇයගේ ඇවටාර්ට පහර දී ඇති බව ඩේලි මේල් වාර්තා කරයි.

ඩේලි මේල් වාර්තාවට අනුව දැරියට ශාරීරික හානියක් සිදු නොවුණද ඉන් ඇති වූ චිත්තවේගීය හා මානසික බලපෑම නීතිය බලාත්මක කිරීම සඳහා බරපතළ ලෙස සළකනු ලබන බව බ්‍රිතාන්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි මෙම පරීක්ෂණයට සහාය පළකර ඇති අතර, දැරිය මත ඇති වූ මානසික කම්පනයේ වැදගත්කම අවධාරණය කරමින් සහ එවැනි අතථ්‍ය ක්‍රියාවන්හි(virtual activities) බරපතළකම අවතක්සේරු කිරීමට එරෙහිව අනතුරු අඟවා තිබේ.

“මෙය සත්‍ය නොවන බව කියා ඉවත දැමීම පහසු බව මම දන්නවා. නමුත් මෙම අතථ්‍ය පරිසරයන්හි සමස්ත කරුණ නම් ඒවා ඇදහිය නොහැකි තරම් කිඳාබැස ඇති බවයි” යනුවෙන් ඔහු රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පවසා ඇත.

“අපි මෙහි කතා කරන්නේ ලිංගික කම්පනයකට ලක් වූ දරුවකු ගැනයි. එය ඉතා වැදගත් මනෝවිද්‍යාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා. මෙය බැහැර කිරීම ගැන අප ඉතා පරෙස්සම් විය යුතුය, ”ඔහු වැඩිදුරටත් පැවසීය.