June 22, 2024

එක්සත් රාජධානියේ ධනවත්ම පවුලක සාමාජිකයන් හතර දෙනෙකුට ඔවුන්ට අයත් ස්විට්සර්ලන්ත ජිනීවා නිවසේ සේවය කිරීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ගත් කාර්ය මණ්ඩලය සූරාකෑම සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබී තිබේ.

ප්‍රකාශ් සහ කමල් හින්දුජා මෙන්ම ඔවුන්ගේ පුත්‍රයා වන අජේ සහ ඔහුගේ බිරිඳ නම්රතාද ශ්‍රම සූරාකෑම සහ නීති විරෝධී රැකියාවල නිරත කරවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත අධිකරණයක් විසින් වරදකරුවන් කළ අතර ඔවුන්ට වසර හතරේ සිට හතරහමාරක් දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

කෙසේවෙතත් මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධ බරපතළ චෝදනාවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලදී.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෝ පැවසූහ.

උසාවියෙන් පිටත කතා කරමින් විත්තිකරුවන්ගේ නීතිඥ රොබට් ඇසේල් පැවසුවේ “මම කම්පනයට පත්වෙනවා. අපි මෙහි කටුක අවසානය දක්වා සටන් කරනවා,” යනුවෙනි.

ඔවුන්ගේ මව්බිම වන ඉන්දියාවෙන් ගෙන්වා ගත් සේවකයන් තිදෙනෙක්ට පවුලේ අය විසින් ගෙවා ඇත්තේ පැය 18ක් වැඩ කිරීමට පවුම් 7ක් ($8) වැනි සුළු මුදලක් බවට චෝදනා එල්ල වී තිබිණි.

ස්විට්සර්ලන්ත නීතියට අනුව එය ගෙවීමට අවශ්‍ය මුදලින් දහයෙන් එකකට වඩා අඩුවන අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද පවුල භාරයට ගෙන ඇත.

වත්කම පවුම් බිලියන 37ක් පමණ යැයි ඇස්තමේන්තු කර ඇති මෙම පවුලට අයත් ජිනීවාහි ධනවත් අසල්වැසි කොලෝනියක පිහිටි නිවසින් පිටවීමට සේවකයන්ට අවසර දී ඇත්තේ කලාතුරකින් බව ද පැවසේ.

නඩු විභාගය අතරතුර, එම පවුලට චෝදනා එල්ල වුණේ පවුල ඔවුන්ගේ සේවකයන්ට වඩා ඔවුන්ගේ බල්ලා වෙනුවෙන් වියදම් කළ බවයි.

විත්තියේ නීතිඥයන් තර්ක කළේ සේවකයන්ට ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබුණු අතර නිවසෙන් පිටවීමට නිදහස තිබී ඇති බවයි.

අවුරුදු 70ට වැඩි වැඩිමහල් හින්දුජාවරුන් දෙදෙනාම අයහපත් සෞඛ්‍යය මත අධිකරණ කටයුතුවලට සහභාගි නොවීය.

අජේ සහ නම්රතා උසාවියට ​​පැමිණි නමුත් තීන්දුව ඇසීමට එහි සිටියේ නැත.

අන්තර්ජාතික සංවිධානවල මෙන්ම ලෝකයේ ධනවතුන්ගේ කේන්ද්‍රස්ථානයක් වන ජිනීවා සේවකයන්ට සිදුවන අයුතු ලෙස සැළකීම සම්බන්ධයෙන් අවධානයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ.

පසුගිය වසරේ, පිලිපීනයේ ගෘහ සේවිකාවන් හතර දෙනෙකු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයකට එරෙහිව නඩුවක් දියත් කළේ තමන්ට වසර ගණනාවක් වැටුප් නොගෙවූ බව පවසමිනි.

හින්දුජා පවුලට තෙල්, ගෑස් සහ බැංකුකරණය පිළිබඳ උනන්දුවක් ඇති බහුජාතික සමුහයක් වන හින්දුජා සමූහය අයිතිය.

මෙම පවුලට ලන්ඩනයේ රැෆල්ස් සමුහයට අයත් හෝටලයක් ද ඇත.