September 10, 2024

මෙරට ජනතාවට විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට තෝරාගෙන ඇති විදේශීය සමාගම මගින් ඉලෙක්ට්‍රොනික චිප් රහිත විද්‍යුත් ගමන් බලපත්‍ර 750,000ක් දක්වා ශ්‍රී ලංකාව මිලදී ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.

නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර වෙත මාරු වීමට පෙර මෙරටට ප්‍රමාණවත් තරම් ගමන් බලපත්‍ර තොග පවත්වා ගැනීමට බලධාරීන් අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකාව විදේශ ගමන් බලපත්‍ර හිඟයකට මුහුණ දී සිටියි.

ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර මිලියන 5ක් ඩොලර් 5.06 බැගින් ලබා ගැනීමට ‘Thales DIS Finland Oy’ සමාගම ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා තෝරාගෙන ඇත.

ඇමැති අලස් පැවසුවේ 2002 සිට කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තෝරාගෙන ඇති පෙර සමාගමෙන් විදේශ ගමන් බලපත්‍ර ඩොලර් 5.89 බැගින් ලබාගෙන ඇති බවයි.

“මුලින් නව විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නියමිතව තිබුණේ නොවැම්බර් මාසයේ සිටයි. අපිට දැන් ඔක්තෝබර් 20 වැනි දින පළමු කට්ටලය ලැබෙනවා,” ඇමැතිවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පැවසීය.

“සමාගම විදේශ ගමන් බලපත්‍ර 750,000ක් දක්වා විවිධ අදියරවලදී ලබාදීමට එකඟ වී තිබෙනවා. අවම වශයෙන් එක් අවස්ථාවකදී ඔවුන් 350,000ක් ලබා දෙයි. කල්තියා දෙන නිසා අපි ඒවා චිප්ස් නොමැතිව ලබා ගන්නේ.” යනුවෙන් ඔහු පැවසීය.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් පසු දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් රට හැර යද්දී ගමන් බලපත්‍ර පොත් වර්තමාන ඉල්ලුමට සරිලන පරිදි ප්‍රමාණවත් නොවීම නිසා පසුගිය මාසයේ දී පාස්පෝට් කාර්යාලය අසළ දිගු පෝලිම් නිර්මාණය විය.

වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා අමතර ගමන් බලපත්‍ර පොත් ලබා දෙන ලෙස රජය වත්මන් සැපයුම්කරුගෙන් ඉල්ලා සිටි නමුත් අවම පිටපත් 500,000ක් මිලදී ගන්නා ලෙස සමාගම රජයෙන් ඉල්ලා ඇති බව ඇමැතිවරයා පැවසීය.

අපට අවශ්‍ය වන්නේ 100,000ක් පමණ වන නිසා අපට එතරම් අවශ්‍ය වෙන්නේ නැහැ,” ඇමැති අලස් පැවසීය.

දිගු පෝලිම් පොලිසිය යොදාගෙන පාලනය කර ඇති අතර සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී අධික මුදලක් ගන්නා අතරමැදි මිනිසුන්ගෙන් සූරාකෑම නැවත්වීමට රජය උත්සාහ කරමින් සිටින බව ද ඔහු පැවසීය.