December 18, 2024

ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයට ඇතුළත් කිරීමට මේ මොහොතේ ඉඩක් නොමැති බව ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි පවසයි.

බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකයකු ලෙස බඳවාගැනීම සම්බන්ධයෙන් සළකා බලන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇති අතර, නිල අයැදුම්පතක් ද ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත්, ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි ජනමාධ්‍ය වාර්තාකරුවන්ට පවසා ඇත්තේ, පසුගිය වසරේ සිට දැනටමත් එක්කර ගෙන ඇති සාමාජිකයන්ට අමතරව බ්‍රික්ස් විසින් සළකා බලනු ලබන නව සාමාජිකයන් නොමැති බවයි.

“ශ්‍රී ලංකාව මීට පෙර BRICS හි සාමාජිකත්වය ලබාගැනීමට කැමැත්ත පළකර ඇති බව ඔබ දන්නා අතර පසුගිය වසරේ සිට දැනටමත් බඳවා ගෙන ඇති සාමාජිකයින්ට අමතරව BRICS විසින් සලකා බලනු ලබන නව සාමාජිකයින් නොමැති බව ද ඔබ දනී. නමුත් නව සාමාජිකයින් පිළිබඳ සොයා බැලීම ආරම්භ කිරීමට BRICS තුළ සම්මුතියක් ඇති වූ විට, අපි නිසැකවම ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශ කර ඇති ඉල්ලීම සැලකිල්ලට ගනිමු.
මේක අගමැතිතුමා දිසානායක ජනාධිපතිතුමාට දැනුම් දුන්නු දෙයක්.” ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකාව සාර්ථක වනු දැකීමට ඉන්දියාව උනන්දු වන අතර එම සාර්ථකත්වයේ ඉතා වැදගත් අංගයක් වනුයේ ශ්‍රී ලංකාව මෙම වත්මන් අවධියෙන් ගොඩ ඒම, ණය හා සම්බන්ධ ගැටලු විසඳීමට සැළකිව යුතු ආර්ථික වර්ධනයක් ඇති භූමියකට ඇතුළුවීම බව ද ඔහු පැවසුවේය.

42.31%
17.27%
32.76%