September 7, 2024

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාස්පෝට් නිකුත් කිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණයක් සිදුව ඇතැයි ලැබුණු පැමිණිලි මත ඒ ගැන පූර්ණ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් දූෂණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් ‘දේශය’ වාර්තා කර ඇත.

දැනට පවත්නා පාස්පෝට් හිඟය කෘත්‍රිම ලෙස නිර්මාණය කරන ලද්දක් බව මේ දක්වා ඒ ගැන සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූ බවද එම ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

එම වාර්තාවට අනුව මේ දිනවල පාස්පෝට් ලබාගැනීම සඳහා පැමිණෙන පිරිස් කිලෝමීටරයක් තරම් දිගු පෝලිමක රැඳී සිටින බවත් අත යටින් මුදල් ලබාගෙන පාස්පෝට් නිකුත් කිරීමේ ජාවාරමක් ගැන ලැබුණු තොරතුරු අනුව ඒ ගැන පරීක්ෂාවට නිලධාරින් පිරිසක් යොදවා ඇත.

දැනට කරන ලද පරීක්ෂණ අනුව දිනකට පාස්පෝට් 3,000 ක් පමණ නිකුත් කළ යුතු බැවින් පවත්නා ඉල්ලුම ලබන වසරේදීවත් සපුරාලිය නොහැකි වන ලෙසට හිඟයක් මවා පෑ දේශපාලන බලධාරින් හා නිලධාරින් ළඟදීම නීතියේ රැහැනට කොටුකර ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ආගමන හා විගමන පාලකවරයා සහ විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයා කොමිසමට කැඳවා ඇත.

මේ අතර මේ දූෂණයට සම්බන්ධ එක් නිලධාරියකු රාජකාරි ගමනක් යන මුවාවෙන් රට පැනීමේ උත්සාහයක් ඇතැයි පැමිණිලි ලැබී තිබෙන බවද වාර්තාව හෙළිකරයි.

පාස්පෝට් කාර්යාලය අසල තිබෙන දිගු පෝලිම්වල රැඳී සිටින ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටින අතර මෙය බරපතළ ආරක්ෂක අනතුරක් නිර්මාණය කර ඇති වග ද එමවාර්තාවේ දැක්වේ.