October 6, 2024

දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුට අයත් දේපළ අත්හිටුවීම සඳහා නීතිමය පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව මෙම සැකකරුවන්ගේ දේපළ, බැංකු ගිණුම්, රක්ෂණ ඔප්පු භාවිත කිරීම වැළැක්වීමට පියවර ගැනීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසුවේ මෙම පුද්ගලයන් හත්දෙනාට ඔවුන්ගේ සාමාන්‍ය වැටුපෙන් ලබා ගැනීමට නොහැකි තරම් විශාල වත්කම් ප්‍රමාණයක් ඔවුන් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳ විමර්ශනය කරන බවයි.

ඇතැම් සැකකරුවන් තම පවුල් සහ සමීපතම ඥාතීන් මාර්ගයෙන් මෙතරම් විශාල ධනයක් උපයාගෙන පැමිණ ඇති බවට කරන ලද ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

කොමිසමේ විමර්ශනවලට සහාය වීම සඳහා ප්‍රකාශ ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමට බොහෝ දේශපාලනඥයන් අකමැත්ත පළ කර ඇති බව ද දැනගන්නට ඇත.

පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන් දෙදෙනෙකු ඇතැම් වත්කම් උපයාගත් ආකාරය පැහැදිලි කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා ගොනු කිරීමට නියමිතව තිබේ.

කුරුඳුවත්තේ සුඛෝපභෝගී නිවසක් සහ ඉඩමක් මිලදී ගත් බව කියන හිටපු ඇමැතිවරයාගේ රියදුරකු සම්බන්ධයෙන් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් සිදු කරන බව වාර්තා වේ.

මේ අතර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු 05ක් අත්හිටුවීමේ නියෝගය මාස තුනකින් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය සතියේ නියෝග කර තිබිණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සැළකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

හිටපු ඇමැතිවරයා ඔහුගේ සමීපතමයන්ගේ නම්වලින් උපයාගෙන ඇති බව කියන දේපළ විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මකය.

42.31%
17.27%
32.76%