April 20, 2025

කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සමග බ්‍රසීල ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 240ක් පමණ වන අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකු බව වාර්තා වේ.

කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 855ක් පමණ බරකින් යුතු සැකකරු රැගෙන ආ කොකේන් තොගය කාඩ්බෝඩ්වල අලවා කළු කඩදාසිවලින් ආවරණය කරන ලද කුඩා බෑග් හතක අසුරා ගමන් මල්ලක දමා රැගෙනවිත් ඇතැයි පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු සතුව තිබූ කොකේන් තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී ඇත.