August 22, 2024

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ ‘දෙමළ ජන සංහාර’ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පළකළ විරෝධතාව කැනඩාවේ බ්‍රැම්ප්ටන් නාගරික බලධාරීන් නොසලකා හැර තිබේ.

එසේම එහි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කැනඩාවේ විදේශ කටයුතු ඇමැති එම්. ජොලිගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ස්ථාවරයක් ගන්නා ලෙසයි.

මීට පෙර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් තුෂාර රුද්‍රිගෝ මෙම ස්මාරකය ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් නගරාධිපතිවරයාට ලිඛිත දැනුම්දීමක් කර තිබිණි.

ඊට අමතරව, විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ද කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් කැඳවා ශ්‍රී ලංකාවේ විරෝධතාව දැනුම් දී තිබිණි.

කෙසේවෙතත්, බ්‍රැම්ප්ටන් නගරාධිපතිවරයා කැනේඩියානු ඇමැතිවරයාට ලිඛිතව දන්වා ඇත්තේ ‘ජනඝාතක ශ්‍රී ලංකා රජය විසින් ප්‍රාදේශීය කටයුතුවලට ඇඟිලි ගැසීම්’ යනුවෙන් තමන් හඳුන්වන දෙයට තම කාර්යාලය බිය නොවන බවයි.

“ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව තම ආදරණීයයන් සහ වීරයන් සිහිපත් කිරීම නැවැත්වීමට රජයට උත්සාහ කළ හැකි නමුත් කැනඩාවේ එය කළ නොහැක. ඔවුන් කැනඩාවේ අනුස්මරණ සහ අනුස්මරණ උත්සවවලට බාධා කිරීමට උත්සාහ කිරීම විදේශීය මැදිහත්වීමේ ක්‍රියාවකි, ” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.