March 24, 2025

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ සේවාව පුළුල් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම සේවාව සඳහා වෙන්කර ඇත්තේ, මේ වනවිට ඉදිකෙරෙමින් පවතින මහල් 8 කින් සමන්විත ගොඩනැගිල්ලයි.

එහි මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කෙරෙන කාමර සංඛ්‍යාව 82 කි.

ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක සහ යෝග අභ්‍යාස ඒකක, ඊට ඇතුළත් ය.

ඉදිරි වසර තුළ දිවයිනට සංචාරකයන් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාවයි.

එම සංචාරකයන්ට ආයුර්වේද ප්‍රතිකාර සේවා ලබාදීමෙන් විදේශ විනිමය උත්පාදනය කරන ස්ථානයක් බවට එම රෝහල පත්කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ ඉදිකෙරෙමින් පවතින මහල් 8කින් යුත් නව ගොඩනැගිලි සංකීර්ණයේ ඇඳන් ධාරිතාව 340 කි.

යාපනය, නැගෙනහිර, කොළඹ සහ යක්කල යන විශ්වවිද්‍යාලවලින් ආයුර්වේද, සිද්ධ, යුනානි යන වෛද්‍ය කර්මයන් පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරත වන උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයින් 600ක් වෙනුවෙන් සායනික පුහුණු වීම් ලබාදීම වෙනුවෙන් ද, එහි පහසුකම් සලසා තිබේ.