November 1, 2023

මාස 02 කට පමණ ඉහත දී තලංගම ලැගුම්හලකදී මනෝ උපදේශිකාවගේ ගෙළ කපා ඝාතනය සිදුකළ ඝාතකයා සම්බන්ධයෙන් හෝ මියගිය කාන්තාවගේ ඥාතීන් සම්බන්ධයෙන් හෝ මෙතෙක් කිසිදු වැදගත් තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැතැයි තලංගම පොලිසිය කියයි.

දිනමිණ වාර්තා කර ඇති ආකාරයට, ඒ හේතුවෙන් සුජාතා මුණසිංහ මානාභරණ නමැති මෙම මනෝ උපදේශිකාවගේ මළ සිරුර මාස 02කට ආසන්න තිස්සේ කොළඹ පොලිස් මෝචරියේ තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ බව කියන මනෝ උපදේශකවරිය ඉකුත් අගෝස්තු මස 26 වැනි දින පිරිමි පුද්ගලයකු සමඟ ලැගුම්හලට පැමිණ තිබූ අතර, සැප්තැම්බර් 03 වැනිදා ඇය සමඟ ලැගුම්හලට පැමිණි පිරිමි පුද්ගලයා ලැගුම්හලින් පිටතට ගොස් රාත්‍රී යළි පැමිණ තිබේ.

03වැනි දින දහවල් කාලයේ සිට කාන්තාව පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ලැගුම්හලේ සේවකයන් විසින් පසුදින (4) කාමරයේ දොර කඩා බැලීමේදී කාන්තාව කාමරයේ ඇඳ උඩු ලේ විලක් මැද මැරී සිටින අයුරු දැක පොලිසියට දැනුම් දී ඇත.

ඝාතනයට ලක්වූ මනෝ උපදේශකවරිය පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට යුද්ධය පැවති සමයේ ඔවුන් හමුවට ගොස් ඔවුන්ගේ චිත්ත ධෛර්යය නැංවීම සඳහා මනෝ උපදේශන කටයුතුවල නියැළුණු තැනැත්තියක් බවට, ඇයගේ ඡායාරූප සමග පළ වූ පුවත්පත් වාර්තාවලින් හඳුනාගෙන ඇති අතර, එම ප්‍රවෘත්ති වාර්තා ද ඇය ලැගුම් ගෙන සිටි ලැගුම්හලේ කාමරයේදී පොලිසියට හමුවී ඇත

කාන්තාව රැඳී සිටි බව කියන වීරකැටිය හපුතලේ හා උණවටුන ආදී ප්‍රදේශවල ඇය පිළිබඳ තොරතුරක් දන්නා පුද්ගලයන් සිටිනවාදැයි සොයාබැලුවද කිසිදු තොරතුරක් සොයාගැනීමට මෙතෙක් නොහැකි වූ බවත්, ඇය පරිහරණය කළ ජංගම දුරකථනයේ සිම් කාඩ්පත ද ලබා ගෙන ඇත්තේ වෙනත් පුද්ගලයකුගේ හැඳුනුම්පතකට බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

මනෝ උපදේශකවරියගේ ගෙළ කපා ඝාතනය කළ බව කියන ඇගේ සැමියා ලෙස සඳහන් පුද්ගලයා පොලිසියට ලියන ලද පිටු පහකින් යුත් ලිපියක් ද ලැගුම්හලේ කාමරයේ තිබී එදිනම පොලිසියට හමුව තිබේ.

ඝාතකයා ඇගේ ගෙළ කැපීම සඳහා උපයෝගි කරගත් තියුණු ආයුධය බත්තරමුල්ල ප්‍රදේශයේ වෙළඳසැලකින් මිලදී ගත් බවට සඳහන් බිල්පතක් ද පොලිසිය විසින් මේ වන විට සොයාගෙන ඇති අතර ඝාතකයා කවුරුන්දැයි හඳුනාගැනීම සඳහා ඒ ඔස්සේද පොලිසිය විමර්ශන ආරම්භ කළ ද එය ද මේ වන විට නිශ්ඵල වී ඇතැයි දැනගන්නට ඇත.

 

42.31%
17.27%
32.76%