January 25, 2024

පාවිච්චි කරන ලද වාහන සඳහා මෑතකදී හඳුන්වා දුන් එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් (VAT) හේතුවෙන් වාහන කර්මාන්තය තුළ “කළුකඩ” වෙළඳපොළක් නිර්මාණය වී ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙය පාවිච්චි කරන ලද වාහනවල වෙළඳපළ මිල ඉහළ යෑමට හේතු වී ඇති බැවින් සාමාන්‍ය පුරවැසියන්ට අහිතකර ලෙස බලපාන බවයි.

මේ නිසා නීත්‍යනුකූල සමාගම් සැළකිව යුතු බාධාවකට මුහුණ දී සිටින්නේ එම සමාගම් වාහන අලෙවි කරන විට, අලුතින් පැනවූ වැට් බද්ද හේතුවෙන් අමතර සියයට 18කින් වාහන මිල ඉහළ යන බැවිනි.

මුදල් ගනුදෙනුවල යෙදෙන සදාචාර විරෝධී සමාගම් සහ පුද්ගලයන්ට මෙම අතිරේක බද්දේ බරකින් තොරව ක්‍රියාත්මක විය හැකි වුවද පවතින තත්ත්වය යටතේ ඔවුන්ට සියයට 18ක සැළකිව යුතු තරඟකාරී වාසියක් හිමිවෙයි.

මෙම තත්ත්වය නීත්‍යනුකූල සමාගම්වලට බරපතළ තර්ජනයක් වී තිබේ.

මේ යතේ පාවිච්චි කරන ලද වාහන අලෙවිය කළුකඩ වෙළෙඳුන් වෙත ආකර්ෂණය වන තත්ත්වයක් මතුව තිබේ.

මේ නිසා පාවිච්චි කළ වාහන මත වැට් බද්දෙන් අපේක්ෂිත ආදායම රජයට ලබා ගැනීමට නොහැකි වනු ඇත.

හේතුව මෙවැනි කළු කඩ වෙළෙඳුන් බලධාරීන්ට සැබෑ ගනුදෙනු හෝ ලාභදායිත්වය හෙළි නොකිරීම නිසා ආදායම් බදු හෝ වෙනත් සෘජු බදු නොගෙවීමයි.

ඉහත කරුණුවලට අමතරව නීත්‍යනුකූල සමාගම්වලට පාවිච්චි කරන ලද වාහන ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සිදුවන බැවින් රජයට එවැනි සමාගම්වලින් මීට පෙර ලැබුණු ආදායම් බද්ද පවා අහිමි වනු ඇත.

ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විරාන් ද සොයිසා සඳහන් කළේ, තත්ත්වයේ අයුතු ප්‍රයෝජන ගනිමින් කළු කඩ වෙළෙන්දෝ මේ වන විටත් වාහන සහ ත්‍රිරෝද රථවල මිල ඉහළ දැමීම නිසා රටේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්ව ඇති බවයි.

දැනට වසර හතරක් පුරා ක්‍රියාත්මක වාහන ආනයනය අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස භාවිත කරන ලද වාහන මිල අධික ලෙස ඉහළ ගොස් ඇත.

උදාහරණයක් ලෙස, රටේ වඩාත්ම ජනප්‍රිය වාහනයක් වන Suzuki Wagon R. සඳහා වැට් බද්ද හේතුවෙන් නීත්‍යනුකූල සමාගමකට රුපියල් මිලියනයක් වැඩිපුර අය කිරීමට සිදුවනු ඇති අතර, එය සාමාන්‍ය පාරිභෝගිකයකුට දරා ගැනීමට අපහසු වේ.

Honda Dio Scooter වැනි සාමාන්‍යයෙන් මිලදී ගන්නා ද්වි රෝද රථයක් පවා නීත්‍යනුකූල සමාගමකින් මිලදී ගැනීමේදී අමතර රුපියල් 100,000ක් වැය වේ.

තවද, පාවිච්චි කරන ලද වාහනයක් මිලදී ගැනීමේ සහ විකිණීමේ චක්‍රය හරහා යන සෑම අවස්ථාවකම වැට් බද්ද හේතුවෙන් මිල ඉහළ යමින් පවතී.

ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමයේ සභාපති චරක පෙරේරා, සිය සංගමය විසින් ඉදිරිපත් කර ඇති විකල්ප යෝජනාව පිළිබඳව අදහස් දැක්වීය.

“අපි රජයට යෝජනා කර ඇත්තේ වාහනයේ ලාභ ආන්තිකය මත වැට් බද්ද අය කරන ලෙසයි, එමඟින් විශාල මිල වැඩිවීමක් සිදු නොවන අතර නීත්‍යනුකූල සමාගම්වලට ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට සහ රජයට පාවිච්චි කළ වාහනයේ අලෙවියෙන් වැට් බද්දෙන් ආදායමක් උපයා ගැනීමට හැකි වනවා. මෙම ප්‍රශ්නයට අවධානය යොමු නොකළහොත්, ආනයනය අත්හිටුවීමෙන් දැනටමත් රැකියා 15,000කට අධික සංඛ්‍යාවක් අහිමි වී ඇති කර්මාන්තයේ තවදුරටත් රැකියා අහිමිවීම් සිදුවිය හැකියි” යනුවෙන් ඔහු පැවසීය.

ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමයේ සාමාජිකත්වය හිමිව ඇත්තේ ගෝලීය වාහන නිෂ්පාදකයන්ගේ දේශීය බලයලත් නියෝජිතයන්ටය.

එම සංගමය 1919 ආරම්භයේ සිට මෝටර් රථ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය සඳහා කටයුතු කරමින් සිටියි.