March 20, 2024

දේශීය පාරම්පරික සහල් වර්ගයක් වන කළු හීනටි නමැති සහල් වර්ගය, ශරීරයේ ඕනෑම විසක් ඉවත්කිරීමේ විශේෂ හැකියාවත් සහිත, පිළිකා නාශක ගුණය ඇති විශේෂ ගුණදායක සහල් වර්ගයක් බව පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදයේ සභාපති ආර්.එම්. නවරත්න බණ්ඩා පැවැසීය.

එම සහල් ඉන්සියුලින් හෝමෝන සෑදීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය උත්තේජනය කරවන, දියවැඩියා රෝගයට ගුණදායක සහල් වර්ගයක් බවත් ඔහු සඳහන් කළේය.

අනුරාධපුරයේදී පැවැති එක්සත් කෘෂිකර්ම සංසදයේ මහා සභා වාරයේදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

නවරත්න බණ්ඩා එහිදී තවදුරටත් මෙසේ ද පැවැසීය.

“කළු හීනටි වී වගාව සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් ඔප්පු වෙලා තිබෙනවා ‘බීජ මූර්තය’ යොදා වගා කළහොත් අක්කරයකින් වී බුසල් සියයකට වඩා ගන්න පුළුවන් බව. අනුරාධපුරයේ අපේ වගා ව්‍යාපෘති භූමි තුළ අක්කරයකින් වී බුසල් 150ක අස්වැන්නක් ලබා ගත්ත අයත් සිටිනවා.
අපේ රටේ වගා කරන වී වර්ගවලින් වැඩිම බත් අස්වැන්නක් ලැබෙන්නේ කළු හීනටි වලින් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. වර්ෂ 1960 හරිත විප්ලවය සමග රසායනික පොහොර භාවිත කර කෘමි නාශක වල් නාශක යොදා ට්‍රැක්ටර් භාවිත කරමින් ලක්බිමේ තිබූ වටිනා දේශීය වී වර්ග තුරන් කිරිම සිද්ධ වුණා. ඒ කාලේ අනුරාධපුර රෝහලේ පිළිකා රෝගියකු හිටියේ කලාතුරකින්. අද පිළිකා රෝගී වාට්ටුවක් වෙනම තිබෙනවා. මෙරට කී දෙනෙක් පිළිකා රෝගයෙන් පීඩා විඳිනවා ද? ජාතිය මුළාකළ, රට රෝගී කළ, විදේශ විනිමය විනාශ කළ හරිත විප්ලවයේ ව්‍යාජ විචලට වඩා ඉහළින් දේශීය කළු හීනටි වීවලින් අක්කරයකින් පුද්ගලයන්ගේ ආහාර වේල් 6500ක්, 3500ක් අතර ප්‍රමාණයක් පෝෂණය වෙනවා. මේ වන විට අපි සංසදයක් හැටියට අනුරාධපුරයේ කළු හීනටි වගා කිරීම ආරම්භ කර තිබෙනවා. එය ක්‍රම ක්‍රමයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීම තමයි අපේ අරමුණ. මේ සඳහා හිතැති ගොවි මහත්වරුන් අප සමග සම්බන්ධ වෙලා කළු හීනටි බිත්තර වී ලබා ගන්න පුළුවන්, මේ සඳහා 0712060900, 0252220257 අංකවලට දුරකතන ඇමතුමක් දී සම්බන්ධ වන්න පුළුවන්.”(ලංකාදීප)

42.31%
17.27%
32.76%