52%
18.9%
22.2%
August 18, 2024

වසංගතයට පෙර සහ වසංගතයට පසු කාලපරිච්ඡේදය අතර සජීවී උපත් සංඛ්‍යාව සියයට 20කින් පහත වැටී මරණ සංඛ්‍යාව සියයට 30කින් ඉහළ ගොස් ඇති බව පෙනීගොස් තිබේ.

ජනගහන ගතිකත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ප්‍රතිපත්ති සංවාදයේදී සිය ප්‍රකාශය කරමින් ජනවිකාස විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පැවසුවේ 2019 වසරේ මෙරටින් වාර්තා වූ සජීවී දරු උපත් සංඛ්‍යාව 319,000ක් වූ අතර එය 2023 වසරේ කොවිඩ් වසංගතයෙන් පසු 247,000 දක්වා අඩු වී ඇති බවයි.

මේ අතර, එම කාලය තුළ මරණ සංඛ්‍යාව 146,000 සිට 181,000 දක්වා වැඩි වූ බව ද ඔහු පැවසීය.

කොවිඩ් 19 සහ එන්නත් කිරීම නිසා ඇති වූ සංකූලතා සහ ඖෂධ හිඟකම, බාල තත්ත්වයේ ඖෂධ භාවිතය, අර්බුද සහ පෝෂණ ගැටලු මධ්‍යයේ සැත්කම් කල් දැමීම, ආර්ථික අවපාතය වැනි කරුණු ඔහු එයට හේතු ලෙස පෙන්වා දුන්නේය.

රාජ්‍ය අංශයේ රෝහල්වලට රෝගීන්ගේ පැමිණීම අතිශයින් ඉහළ ගිය බවත් මහාචාර්ය ද සිල්වා ප්‍රකාශ කළ අතර මුදල් ඇති රෝගීන් මිල අධික පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගත් බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජනගහනය වයස්ගත වෙමින් පවතින බව ද ඔහු කියා සිටියේය.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 60ක් අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි බෝ නොවන රෝගයක් සමඟ පොරබදමින් සිටින බව ද ඔහු පැවසීය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක පැවසුවේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ජන විකාශන සංක්‍රාන්තිය විවිධ බවයි.

“සාඵල්‍යතා අනුපාතිකයේ අඩුවීමක්, වැඩිහිටි පුද්ගලයන්ගේ අනුපාතයේ වැඩි වීමක් සහ සංක්‍රමණ රටාවන් වෙනස් වීමක් අපි දකිනවා. මෙම සිද්ධි අභියෝග ඉදිරිපත් කරන අතරම, ඒවා නව්‍ය සහ තිරසාර වර්ධනයක් සඳහා සුවිශේෂී අවස්ථා ද ලබා දෙනවා.” යැයි ඔහු සඳහන් කළේය.

දරුඵල අඩුවීම ප්‍රගතියේ සලකුණක් වන අතරම, පවුල්වලට ඔවුන්ගේ ප්‍රජනන තේරීම් කෙරෙහි වැඩි පාලනයක් ඇති වීම යහපත් වේ.

එහෙත් තවත් අතකින් එය අභියෝග මතු කරවන සුළුය.

වැඩ කරන වයසේ ජනගහනය අඩුවීම ආර්ථික ඵලදායිතාව අඩුවීම සහ යැපුම් අනුපාතය වැඩි වීම ද ගැටලුවක් වීමේ අවදානමක් ඇත.

එබැවින්, ශ්‍රමය, ඵලදායිතාව සහ ආර්ථික වර්ධනයට ප්‍රවේශ වන්නේ කෙසේදැයි නැවත සිතා බැලිය යුතු බව ප්‍රියන්ත රත්නායක පවසයි.

2012 දී වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස්ගත පුද්ගලයන්ගේ ජනගහනය සියයට 12.6ක් වූ අතර එය 2041 වන විට ජනගහනයෙන් හතරෙන් එකක් දක්වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

වයස්ගත ජනගහනයක්, සෞඛ්‍යය සහ දීර්ඝායුෂ වැඩි දියුණු කිරීම සඳහා සාක්ෂියක් වන අතරම, සෞඛ්‍ය සේවා පද්ධතිය, විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම සහ දිගු කාලීන සත්කාර පහසුකම් මත වැඩි පීඩනයක් ඇති කරයි.

අපගේ සෞඛ්‍ය සේවා පද්ධති, විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම සහ සමාජ ආධාරක ජාලයන් වයස්ගත සමාජයක අවශ්‍යතා සපුරාලීම සඳහා ඉක්මණින් අනුවර්තනය වීමට අවශ්‍ය වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

52%
18.9%
22.2%