January 21, 2025

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ හෝ අභිලාෂයන්හි කොටසක් නොවන නමුත් නව නීතියක් ගෙන එන තෙක් එය ප්‍රවේශමෙන් භාවිත කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අද පැවසීය.

”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කිවයුත්තේ එය අපගේ අභිලාෂය හෝ ප්‍රතිපත්තිය නොවන බවයි. කෙසේවෙතත්, නව නීතියක් කෙටුම්පත් කරන තුරු, පවතින නීති ඉතා ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුයි. රජය නව නීති පනවන තුරු මෙය අවශ්‍යයි” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් සම්බන්ධ සිද්ධියක් පිළිබඳව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීම ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී මතුකළ කරුණුවලට ප්‍රතිචාර දක්වමින්ය.

ආගමන විගමන නිලධාරීන් විසින් සංචාරක තහනමක් බව පවසමින් පසුගියදා ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉන්දියාවට යෑම වැළැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් එහිදී පැවසීය.

මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ එවැනි තහනමක් සඳහා අධිකරණ නියෝගයක් අවශ්‍ය නමුත් එය ක්‍රියාත්මක නොවූ බව‍යි.

කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට ඔහුගේ ගමන යෑමට අවසර හිමිවූ බව ද හකීම් මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස ආගමන විගමන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ද දැනුම් දී ඇති බව සභානායකවරයා පැවසීය.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකළ අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවයි.

“මෙය මෙම අවස්ථාවේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයක් නොවන බව පැහැදිලියි. මෙය ඔහු විසින් පවසන පරිදි දෙයක් නොවේ. ඒ නිසා මේක රජයේ තීරණයක් හෝ ප්‍රතිපත්තියක් මත ඇති වූ සිද්ධියක් නොවෙයි.” අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%