39.26%
17.48%
34.3%
September 22, 2024

2024 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස අනාවැකි පළකරන තම පක්ෂ නායක අනුර කුමාර දිසානායකගේ දිවුරුම්දීමේ උත්සවය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය අවසන් තීරණයක් ගෙන තිබේ.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියාසිටියේ මැතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර ඇති බවට පක්ෂයට විශ්වාසයක් ඇති බවත්, මැතිවරණ කොමිසමේ නිල ප්‍රකාශය එනතෙක් බලාසිටින බවත්ය.

දිවුරුම්දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

උත්සවය පැවැත්වෙන දිනය සහ වේලාව තීරණය කිරීමට පක්ෂයට බලයක් නොමැති බව සඳහන් කළ බිමල් රත්නායක කියාසිටියේ, ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඡන්දයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව පමණක් එය තීරණය කරන බවයි.

දිවුරුම්දීමේ උත්සවය අද සවස සිදුවේද හෙට සිදුවේද යන්න තීරණය වනු ඇත්තේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවසන් ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවය.

දිවුරුම් දෙන වෙලාව “රටට ජාතියට සුබ වෙලාවක් වේවි” යැයි ඔහු පැවසීය.

ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳවද හිටපු මන්ත්‍රීවරයා විශ්වාසය පළකළේය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව උපරිමයෙන් කටයුතු කරන බව සඳහන් කළ බිමල් රත්නායක, මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බවට වන ප්‍රකාශයන් සම්බන්ධයෙන් සැලකිලිමත් නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ එය සම්මත ක්‍රියා පටිපාටියක් වන බැවිනි.

39.26%
17.48%
34.3%