March 23, 2025

පැපවෙරින් හයිඩ්‍රොක්ලෝරයිඩ් නම් හෘද ඖෂධයේ එන්නත් 1,800ක් සැපයීම සඳහා එම ඖෂධය මෙරට රාජ්‍ය අංශයට බෙදාහරින එකම දේශීය නියෝජිතයාතනය විසින් ඇම්පියුලයකට රු.49,000 බැගින් වන ඉහළ ඖෂධ ලංසුවක් රාජ්‍ය ඖෂධ සංස්ථාවට (SPC) ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් උපුටා දක්වන ලද අධික මිල ගණන් මත පදනම්ව පෙර ලංසු තුනක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, යාඩන් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම පසුගිය වසරේ සිට ඒ සඳහා ලංසුව ඉදිරිපත් කළ සිව්වැනි අවස්ථාව මෙය බව ද ආරංචි මාර්ග පවසයි.

පැපවෙරින් හයිඩ්‍රොක්ලෝරයිඩ් මිලිග්‍රෑම් 60 සඳහා වන මිලිලීටර් 2 කැප්සියුලවලට අදාළ ලංසු මෙලෙස ප්‍රතික්ෂේප වී තිබේ.

පළමු ලංසුව වී තිබුණේ ඇම්පියුලයකට රු. 73,000කි.

තාක්ෂණික ඇගයීම් කමිටුව එය ප්‍රතික්ෂේප කළ අතර නැවත ටෙන්ඩර් කිරීමට නිර්දේශ කළේය.

ඒ අනුව පසුගිය වසරේ මැයි මාසයේදී ලංසුව නැවත ඉදිරිපත් කර ඇති අතර, එහිදී එක් එක් ඇම්පියුලයකට රු. 48,199 බැගින් ඇම්පියුල 1,800ක් සැපයීමට මිලගණන් ඉදිරිපත් කර ඇත.

මෙයද තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

2024 දෙසැම්බර් මාසයේදී තුන්වැනිලංසුවක් ඉදිරිපත් කරන ලද අතර එහිදී එක් එක් ඇම්පියුලය රුපියල් 50,050 බැගින් ලබාදීමට වූ යෝජනාවද නැවතත් ප්‍රතික්ෂේප කරන ලදී.

සිව්වැනි ලංසුව පෙබරවාරි මාසයේදී රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඉදිරිපත් කර ඇත්තේ ඇම්පියුලයකට රුපියල් 50,000කට ආසන්න මුදලක් ඉදිරිපත් කරමිනි.

එය තවමත් ඇගයීමට ලක් කර නොමැත.

මේ නිසා රජයේ අරමුදල් මත යැපෙන සෞඛ්‍ය අංශය දැනට ක්‍රියාත්මක වන්නේ එම ඖෂධය නොමැතිවය.

ඒ අනුව රෝගීන් එම ඖෂධය පෞද්ගලික අංශයෙන් රුපියල් 300 සිට 350 දක්වා වන ඉතා ලාභදායී මිලකට ඖෂධය මිලදී ගන්නා තත්ත්වයක් දැනට පවතී.

මිල පරීක්ෂාවන් සිදු කළ වෛද්‍යවරු පවසන්නේ ඇම්පියුල දහයක පෙට්ටියක් ඉන්දියාවෙන් ඉන්දියානු රුපියල් 75ක් වැනි අඩු මුදලකට මිලදී ගත හැකි බවයි.

යාඩෙන් සාමාගම ද මෙම ඖෂධය ලබාගෙන ඇත්තේ ඉන්දියානු සමාගමක් වන මර්කරි ලැබෝරටීස් ලිමිටඩ් වෙතින් ය.

ශ්‍රී ලංකාවේ හෘද උරස් සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය මෙම කාරණය හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල සහ වත්මන් ලේකම් අනිල් ජාසිංහගේ අවධානයට යොමු කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද දන්වා ඇත.

පැපවෙරීන් හයිඩ්‍රොක්ලෝරයිඩ් 2018 සිට මහජන සෞඛ්‍ය අංශයට කුප්පියකට රුපියල් 34,000 සිට රුපියල් 76,500 දක්වා මිලකට අලෙවි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය හෙළි කිරීමත් සමග මෑතකදී ඒ පිළිබඳ අවධානයට ලක් විය.

තාක්ෂණික ඇගයීම් කමිටුව හි හෘද උරස් ශල්‍ය වෛද්‍යවරයකු විසින් පසුගිය වසරේ මෙම අධික මිල පිළිබඳ හෙළි කරන තෙක් ප්‍රසම්පාදන අඛණ්ඩව පැවතිණි.

මෙම වසරේ ජනවාරි මාසයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු වත්මන් දේශීය සැපයුම්කරුට සම්බන්ධ වී ඇති බවයි. (මෙය ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි විය.)

එවැනි මිල ගණන් යටතේ ඖෂධය මිලදී ගැනීම සඳහා අතීතයේ දී අනුමැතිය ලබා දී ඇති ආකාරය සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන බව ඔහු සතිපතා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

තවද 2019 සිට 2023 දක්වා එය ආනයනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 342.49ක් වියදම් කර ඇති බව ඔහු හෙළි කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියම කිරීමේ කමිටුව දැන් ඖෂධ ලියාපදිංචි කිරීම් අලුත් කිරීමට පෙර කලාපීය මිල ගණන් සමාලෝචනය කරන බව ද අමාත්‍ය ජයතිස්ස පැවසීය.

(Sunday Times)