November 7, 2024

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණීමට පෙර යුක්‍රේන රජය ශක්තිමත් කිරීමට වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන් ජනවාරි මාසයේදී නිලයෙන් ඉවත් වීමට පෙර යුක්‍රේනයට ඩොලර් බිලියන ගණනක් ආරක්ෂක ආධාර ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ට්‍රම්ප්, අමෙරිකාව යුක්රේනයට ලබාදෙන හමුදා සහ මූල්‍ය ආධාරවල පරිමාණය විවේචනය කර තිබේ.

එමෙන්ම ඔහු රුසියාව සමඟ පවතින යුක්‍රේන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට ප්‍රතිඥා දී ඇත.

එහෙත් එය සිදු කරන්නේ කෙසේ දැයි ඔහු මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

යුක්රේනය පිලිබඳ ඔහුගේ ස්ථාවරය, ජනවාරි මාසයෙන් පසුව එළඹෙන රිපබ්ලිකන් පාලිත ධවල මන්දිරය, සෙනෙට් සභාව සහ ඇතැම්විට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ද යටතේ රුසියාව සමග යුක්රේනයේ යුද්ධයට අමෙරිකාව ලබා දෙන සහයෝගයේ අනාගතය පිලිබඳ කනස්සල්ල මතු කර ඇත.

බයිඩ්න් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ අමෙරිකානු වත්මන් පරිපාලනය හැකි සෑම අයුරකින්ම යුක්රේනය ශක්තිමත්ම තත්ත්වයට පත් කිරීමට සැලසුම් කරන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතූ පළමු ලෝක නායකයින් අතර යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ද වූ අතර ඔහු ඊයේ ට්‍රම්ප් සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.

“අපි සමීප සංවාදයක් පවත්වා ගෙන යාමට සහ අපගේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාමට එකඟ වුණා. ශක්තිමත් සහ නොසැලෙන එක්සත් ජනපද නායකත්වය ලෝකයට සහ සාධාරණ සාමයක් සඳහා අත්‍යවශ්‍ය වේ, ” යනුවෙන් යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි X හි සටහනක සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%